ජාතික තෛපොංගල් උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් ජාතික තෛපොංගල් උත්සවය අද (ජනවාරි 15) ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අග්‍රාමාත්‍ය කාර්යාලය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කළ මෙම උත්සවය, සොබාදහමෙන් ලැබෙන රැකවරණයට සහ ශ්‍රමයේ අභිමානයට කෘතඥතාව පළ කරන උදාර සංස්කෘතික සම්ප්‍රදායක් ලෙස සනිටුහන් විය. මෙහිදී අග්‍රාමාත්‍යවරිය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් තෛපොංගල් චාරිත්‍ර ඉටු කෙරුණු අතර, හින්දු සංස්කෘතිකාංග රැසකින් උත්සවය වර්ණවත් විය.​ජනාධිපතිවරයාගේ තෛපොංගල් සුබපැතුම් එක් කරමින් අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විහිදා දක්වන මෙම ඓතිහාසික සැමරුම තුළින් මෙරට වැසියන්ට මෙන්ම ලෝකවාසී සියලු දෙනාට ආශිර්වාදය හිමිවනු ඇතැයි තමන් ප්‍රාර්ථනා කරන බවයි. රට ගොඩනැගීමට කැපවී සිටින ජනතාවට මෙම දිනය සුවිශේෂී ආගමික මංගල්‍යයක් බවද හෙතෙම සඳහන් කළේය.​එක්සත්කම, අන්‍යෝන්‍ය ගෞරවය සහ සංස්කෘතික හා ආගමික අයිතිවාසිකම් සුරැකෙන රටක් ගොඩනැගීමට එක්වන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියාය. උත්සාහය, ඉවසීම සහ පරිසරයට ගරු කිරීම වැනි තෛපොංගල් උත්සවයේ හර පද්ධතීන් වැදගත් කොට සැලකිය යුතු බවත්, ප්‍රතිපත්තිමය හා ආකල්පමය වෙනසක් තුළින් රට යළි ගොඩනැගීම රජයේ වගකීම බවත් ඇය අවධාරණය කළාය. මහා සංඝරත්නය, හින්දු පූජකවරුන් ඇතුළු අන්‍යාගමික නායකයින්, මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 943

Leave A Reply

Your email address will not be published. Required fields are marked *