කොළඹ සුගතදාස ගෘහස්ථ පිහිනුම් තටාක පරිශ්‍රයේදී දින පහක් පුරා අති උත්කර්ෂවත් අයුරින් පැවැති 2026 ජාතික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලිය ඊයේ සාර්ථකව නිමාවට පත්විය. ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද මෙම දැවැන්ත ක්‍රීඩා මංගල්‍යය සඳහා දිවයින පුරා විසිරී සිටින දක්ෂ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000කට අධික පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි. මෙහිදී වයස අවුරුදු 11න් පහළ සිට 20න් පහළ දක්වා වූ විවිධ වයස් කාණ්ඩ යටතේ තරගාවලිය ඉතා තියුණු මුහුණුවරකින් පැවැත්විණි.තරගාවලිය පුරා කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළ පාසල් අතරින් පිරිමි අංශයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වූ අතර, කාන්තා අංශයේ සමස්ත ශූරතාව දිනා ගනිමින් තම ආධිපත්‍යය තහවුරු කිරීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය. නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට තම දක්ෂතා ජාතික මට්ටමින් විදහා පෑමට මනා තෝතැන්නක් වූ මෙම තරගාවලිය, මෙරට ජල ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ සුබ පෙරනිමිති පළ කරමින් සාර්ථකව අවසන් විය.





















