ජාතික හෙද සමුළුව

ආර්ථිකයෙන් සාධාරණ පංගුව සැමට හිමිවන ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනගමු
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත

සමස්ත ලංකා හෙද සංගමයේ මේ සමුළුව පවත්වන්නේ අපේ රටේ ඓතිහාසික මොහොතකයි. අපි සිටින්නේ මෙතෙක් පැවැති 76 වසරක ඊනියා ප්‍රභූ පාලනය අවසන් කර, ජනතාවාදී පාලනයක් පිහිටුවා ගැනීමේ තීරණාත්මක ජනාධිපතිවරණයක් අභියසයි. සැප්තැම්බර් 21දා පැවැත්වෙන ජනාධිපතිවරණය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා නියත වශයෙන්ම ජනාධිපති ධුරයට තෝරා පත්කරගෙන ඉන්පසුව ජනතාවාදී පාලනයක් පිහිටුවා නව පුනරුද යුගය ආරම්භ කරනවා. අපි කවුරුත් කතා කරන්නේ දේශපාලනික, ආර්ථික, සමාජ හා සංස්කෘතික වශයෙන් අපේ රට කඩා වැටී ඇති බවයි. ජනතාවාදී පාලනයකින් මේ කඩා වැටෙන තැනින් රට ගොඩගන්න ඕනෑ. මේ දක්වා මැතිවරණ සටන් බිමේ ජයග්‍රහණ කරා පිවිසෙන්න ඉඩකඩ අපට ඔවුන් ඉතිරි කර තිබුණේ නැහැ. ඒ තත්වය වෙනස් කර, මෙවර මැතිවරණයෙන් පීඩිත, ප්‍රගතිශීලී ජනතාවගේ අපේක්ෂා ඉටුකර ගැනීමේ පාලනයක් පිහිටුවා ගන්න හොඳම වටපිටාවක් හැදී තිබෙනවා. පුනරුද යුගයේ රට ගොඩනැගීම ආරම්භ කරන්නේ මේ වාසිදායක වටපිටාවේ මැතිවරණ ජයග්‍රහණවලින් පසුවයි.

රට ගොඩනඟන්න නම් මේ කුණුවී තිබෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. එය වෙනස් නොකර ආර්ථිකය, සමාජය, සංස්කෘතිය ගොඩගන්න බැහැ. දේශපාලනය කුණු වෙනකොට අනිත් සියලු අංශ කඩා වැටෙනවා. ආර්ථිකය කඩා වැටෙනකොට කෙහොම වුණත් සමාජීය සහ සංස්කෘතික ජීවිතයක් පවතින්නේ නැහැ. ආර්ථිකය හොඳයි නම්, යහපත් සමාජීය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ වගේම ජීවිතය වින්දනය කිරීමේ සංස්කෘතික ජීවිතයක් ගොඩනඟා ගන්නත් පුළුවන්. සංස්කෘතිය සම්බන්ධ පොදු විග්‍රහය හැටියට අපි පිළිගන්නේ “ස්වභාව ධර්මයෙන් අපට නොලැබුණු, මිනිසා විසින් නිර්මාණය කරගත්, සියල්ලගේම එකතුවයි” කියන අදහසයි. ඔබේ නිල ඇඳුමත් සංස්කෘතියක්. හෙද සේවයේ විනය නීති ආචාරධර්ම කියන්නේ සංස්කෘතියේ කොටස්. ආර්ථිකය කඩා වැටෙන හේතුව දේශපාලනය, සංස්කෘතිය කඩා වැටෙන්න හේතුව දේශපාලනය. මේ විදිහට ගත්තාම මෙතෙක් පැවතුණේ ෆැමිලි බිස්නස් එකක් කරගත් දේශපාලනයක්. සජිත් දිනවලා අගමැති වෙන්න බලන් ඉන්න ලක්ෂ්මන් කිරිඇල්ල මධ්‍යම අධිවේගී මාර්ගයෙන් ගහපු ගැහිලි නිසා කොන්ක්‍රීට් පාලම් දැන්මම කඩා වැටෙනවා. ෆැමිලි බිස්නස්වල හැටි එහෙමයි. මේ අවුරුදු 76යේ ලංකාවේ දේශපාලනය පදනම් වී තිබුණේ තමන් ධනවත් වීම මත මිස රට ධනවත් නොකිරීමේ ෆැමිලි බිස්නස් එක මතයි. රට ධනවත් කරන දේශපාලනයක් ආරම්භ කිරීමේ හැරවුම ලබාගන්න රොද බඳින ලෙස හැමදෙනාටම අපි ආරාධනා කරනවා.

අපට හමුවන සමහර අය කියන්නේ මේ පාර නම් අපට උදව් කරනවා කියලා. මම ඒ අයට කියන්නේ කරුණාකරලා උදව් නම් එපා කියලා. උදව් කරන්නේ අසරණ වෙච්ච අයට, හදිසි අනතුරුවලට ලක්වුණු අයට වගේ අවස්ථාවලදී. අපි හැමෝටම කියන්නේ රටේ ප්‍රශ්නය මොකක්ද කියලා හරියටම තේරුම් අරගෙන ඒ තත්වය වෙනස් කරන්න අපි ඔක්කෝම එකතු වෙමු කියලා. රටේ කඩා වැටීමට පාලකයන් වගකියන්න ඕනෑ තමයි. නමුත් ජනතාව ලෙස අපි හැමෝම ඒ සඳහා වගකියන්න ඕනෑ. කාටවත් ඡන්දය නොදී ගෙදර බුදියාගෙන හිටපු කෙනෙක් වුණත් තමන්ගේ වගකීම හරිහැටි ඉටුනොකළ නිසා වගකියන්න ඕනෑ. දැන් අපි හැමෝම එකතු වී මේ රටේ අලුත් පරිච්ඡේදයක් ලියන්න සූදානම් වෙමු.

අපේ මුළු රාජ්‍ය සේවයම ජනාධිපතිට සහ ඇමති මණ්ඩලයට ගැටගසා තිබෙන අතර, පාර්ලිමේන්තුවෙන් සම්මත කර දී තිබෙන නීතිරීති ඒ අය විසින් ක්‍රියාත්මක කළ යුතුයි. රාජ්‍ය සේවකයන් ක්‍රියාත්මක කරන්නෙත් ඒ අණපනත් අනුවමයි. 1978 ඉඳලා අපිට ජනාධිපතිලා ඉන්නවා. රට කඩා වැටුණා කියන්නේ ජනාධිපතිලා ඇමති මණ්ඩලය හරහා නීතිය හරිහැටි ක්‍රියාත්මක කර නැහැ කියන එකයි. වංචා, දූෂණ, නාස්තිය සිදුවීමට ඉඩහැර තිබෙන බවයි. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කිරීමේදී අසරණ පුංචි මිනිසුන්ට එක විදිහටත් ධනවත්, ඊනියා ප්‍රභූ කෙනෙකුට වෙන විදිහකටත් ක්‍රියාත්මක වෙනවා. පොලීසිය, පාසල, රෝහල මේ හැමතැනේදීම ක්‍රියාත්මක වෙන්නේ ඒ ආකාරයට. මහජන ඡන්දයෙන් තෝරා පත්කර යවන ජනාධිපති පිස්සු කෙළියත් අවුරුදු පහක් යන තුරු ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ. ගෝඨා පළවා හැරියා වගේ අවස්ථා උදාවෙන්නේ සමහර විට ශතවර්ෂ ගණන්වලින්. නැත්නම් දශක ගණන්වලින්. අනුර සහෝදරයා ජනාධිපති කළ පසු හඳුන්වාදෙන ව්‍යවස්ථාවෙන් මහජන නියෝජිතයන් ආපසු කැඳවීමේ බලය ලබාදෙනවා. දේශපාලනය සුද්ද කරනවා කියන්නේ ඔන්න ඔතනින් පටන් ගැනීමයි. අද පත්කර ගන්නා මන්ත්‍රී කෙනෙක් අවුරුදු පහක් පාර්ලිමේන්තු යන්න ඕන නැහැ. මාස තුනකට වරක් පාර්ලිමේන්තු ගිහින් අවුරුදු පහටම දවස් 20ක් ගිහිල්ලා සියලු වරප්‍රසාද බුක්ති විඳිමින් අන්තිමේ විශ්‍රාම වැටුපකුත් ලැබෙනවා. මේ ක්‍රමය වහාම වෙනස් කරන්න ඕනෑ.මාලිමාව ඉදිරියේ කතිරය ගහන්න ඕනෑ මෙන්න මේ සිස්ටම් චේන්ජ් එක කරන්නයි.

දේශපාලනය ෆැමිලි බිස්නස් එකක් කර ගත් අය සිස්ටම් චේන්ජ් එක සිදුකරන වෙනත් ජාතික ව්‍යාපාරයකට පහසුවෙන් එන්න දෙන්නේ නැහැ. ඒ භූමිය තුළ ඔවුන්ම බලය මාරුකර ගත්තා. හෙදියන් ඇතුළු පීඩිත සහ ප්‍රගතිශීලී අය ඔවුන්ගේ ඒ ඡන්ද භූමියට කඩා වැදිලා කොඩිය ඔසවාගෙන ඉන්නවා. ඡන්දයට කලින් අපේ මේ කොඩිය බිම දාන්න ඔවුන් කළ හැකි හැමදේම කරනවා. අපි කතා කරන දේවල් විකෘති කරනවා. ජනතාවත් එක්ක ඇතිවී තිබෙන සම්බන්ධය බිඳීමේ මාධ්‍ය වළල්ලක් චෞර පාලකයන්ට තිබෙනවා. ඇතැම් මාධ්‍යවේදීන් කුලියට අරගෙන චෞර වළල්ලට සම්බන්ධ මාධ්‍ය ජාලය උපරිමයෙන් ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන්ම පටන් ගත් යූ ටියුබ් නාලිකා තිබෙනවා. කාලයක් තිස්සේ ක්‍රියාත්මක රූපවාහිනී නාලිකා වගේම පත්තරත් තිබෙනවා. ඒ ඔක්කෝම එකතු වෙලා මේ දක්වා මැතිවරණ සටන් භූමියට එන්න නොදුන් ප්‍රගතිශීලීන්, පීඩිතයන් පසුගිය අරගලවලින් පස්සේ වගේම ඒ දක්වා ගෙන ගිය සටන්වල ප්‍රතිඵල ලෙස සහ මේ දක්වා ගෙන ගිය සටන්වල ප්‍රතිඵලයක් ලෙස ජයග්‍රහණයක් කරා පැමිණ සිටිනවා. මෙතෙක් තනි තනි මිනිසුන් ළඟ තිබුණු එක් එක් සංස්කෘතිය ජාතික ජන බලවේගයේ සංස්කෘතිය බවට පත් කළ නිසා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ දක්වා නොතිබුණු වික්ෂිප්තභාවයක් ගොඩනැගී තිබෙනවා. ජාතික ව්‍යාපාරයක් බවට පත්කර තිබෙන ඒ සංස්කෘතියෙන් මේ රට ගොඩනඟනවා මිස කිසිවෙක් පුද්ගලික ප්‍රතිලාභ බලාගෙන මේ දේශපාලනය කරන්න ඕන නැහැ.

අපේ පාලනයක් යටතේ මානව සම්පතේ දියුණුවට එරෙහිව මෙතෙක් පවතින බාධා ඉවත් කරනවා. ඒ තුළ සෞඛ්‍යය සේවයට තිබෙන බාධා ඉවත් කිරීම කරනවා. හෙද සේවයට කසිකබල් උපාධි දෙනවා වෙනුවට නවීන දැනුමෙන් යුතු නිසි උපාධියක් ලබාදී සමස්ත සෞඛ්‍යය සේවයට, පවතින බාධා වගේම, රටේ සමස්ත මානව සම්පතේ බාධාවල් ඉවත් කරනවා. ඒ වගේම හැමදෙනාටම තමන් සම්බන්ධ වී සිටින ආර්ථිකයෙන් තමන් වෙත ලැබිය යුතු සාධාරණ පංගුව ලබාගැනීමට තිබෙන බාධාවල් ඉවත් කරනවා. ආර්ථිකයෙන් සාධාරණ පංගුව ලැබෙනවා නම්, වැඩවර්ජන කරන්න ඕනෑද? අපි හැමෝටම මාලිමාව බලයට පත් කර ගත යුත්තේ මේ මූලික බාධා දෙක ඉවත්කර ගන්නයි. රාජ්‍ය බලයක් ලබා ගන්න ඕනෑ මේ ක්‍රියාමාර්ග දෙක අනුගමනය කරන්නයි. ප්‍රගතිශීලීන්ගේ සහ පීඩිත ජනයාගේ රාජ්‍ය බලය පිහිටුවන අවස්ථාව සැප්තැම්බර් 21 උදාවී තිබෙනවා. එය ජයග්‍රහණය කරවීම සඳහා ඉදිරි කාලය තුළ අපි හැමෝම අඛණ්ඩව ක්‍රියාකරන්න ඕනෑ. බලය ගත් පසු මේ පාලනය අපේ බව වෘත්තිය සමිතිවලටත් සමස්ත වැඩකරන පංතියටත් දැනෙන්න ඕනෑ. අපේ වගකීම වෙන්නේ ජනතාවගේ ආණ්ඩුවක් බව තහවුරු වන ආකාරයෙන් ප්‍රතිපත්තිගරුකව සහ කාර්යශීලීව වැඩකිරීමයි. අපි ඒ ප්‍රතිපත්ති අනුව වැඩ කරන බව මෙතෙක් තහවුරු කර තිබෙනවා වගේම ඉදිරියේදී ක්‍රියාවෙනුත් ඔප්පු කරනවා. මෙය රට පරිවර්තනය කිරීමේ සමුළුවක් බව මේ අවස්ථාවේ සිට ක්‍රියාවෙන් ඔප්පු කරමු.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *