ජාතික QR ගෙවීම් ව්‍යාපෘතිය අද ඇරඹේ

ශ්‍රී ලංකාව මුදල් නෝට්ටු භාවිතය අවම වූ ‘Cash-lite’ ආර්ථිකයක් කරා මෙහෙයවීමේ දැවැන්ත පියවරක් තබමින්, “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) නිල වශයෙන් ආරම්භ කෙරේ. මෙරට ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කරමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා සාමාන්‍ය ගනුදෙනුකරුවාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා වූ සියලු දෙනා එකම ඩිජිටල් ජාලයකට සම්බන්ධ කිරීම රජයේ ප්‍රධාන අරමුණයි.​කුඩා පරිමාණ වෙළෙඳුන් දිරිමත් කිරීම වෙනුවෙන් විශේෂ සහනයක් අද සිට ක්‍රියාත්මක වන අතර, රුපියල් 5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා මෙතෙක් අය කළ සේවා ගාස්තුව (MDR) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන තීරණය කර ඇත. මේ හරහා කිසිදු අමතර වියදමකින් තොරව ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට වෙළෙඳුන්ට අවස්ථාව හිමිවේ. දැනටමත් මෙරට වැඩිහිටි ජනගහනයෙන් 89%කට බැංකු පහසුකම් පවතින පසුබිමක, මෙම පියවර ඩිජිටල් ගනුදෙනු සීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීමට මහෝපකාරී වනු ඇත.​දැනට මෙරට ආර්ථිකය තුළ රුපියල් ට්‍රිලියන 1.48ක පමණ මුදල් නෝට්ටු සංසරණය වන නමුත්, QR ක්‍රමය හරහා සිදුවන ගනුදෙනු ප්‍රමාණය තවමත් පවතින්නේ අවම මට්ටමකය. මෙම පරතරය නැති කරමින් ලංකාව පුරා පිහිටි වෙළෙඳ මධ්‍යස්ථාන 450,000කට අධික සංඛ්‍යාවක LankaQR පද්ධතිය සක්‍රීයව භාවිත කිරීමට ජනතාව පෙළඹවීම සඳහා විශේෂ උපායමාර්ගික වැඩපිළිවෙළක් ද අද සිට ක්‍රියාවට නැංවේ.​QR භාවිතය ජනප්‍රිය කරවීම සඳහා ආකර්ෂණීය දිනුම් ඇදීමේ වැඩසටහනක් ද හඳුන්වා දී ඇත. පාරිභෝගිකයන්ට මෙන්ම වෙළෙඳුන්ට ද විවෘත මෙම වැඩසටහන හරහා සතිපතා සහ මාසිකව රුපියල් 1,000,000 දක්වා වූ වටිනා ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. වැඩසටහනේ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා “සමාජ දෘශ්‍යතා දර්ශකය” (Social Visibility Index) උපයෝගී කරගනිමින් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රචාරණ කටයුතු ද භාෂා ත්‍රිත්වයෙන්ම සිදු කෙරේ.​මෙම ජාතික මෙහෙයුම හුදෙක් තාක්ෂණික වෙනසක් පමණක් නොව, වඩාත් ආරක්ෂිත, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතු මූල්‍ය සංස්කෘතියක් ගොඩනැගීමේ පදනමයි. සෑම පුරවැසියෙකුටම තම ප්‍රදේශය හෝ භාෂාව නොතකා ඩිජිටල් ආර්ථිකයේ ප්‍රතිලාභ සමීප කරවීම මෙහි අවසන් අරමුණ වන අතර, ඒ හරහා ශ්‍රී ලංකාවේ අනාගත ගෙවීම් පද්ධතිය වඩාත් නවීකරණය වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

What's your reaction?

Related Posts

1 of 1,086

Leave A Reply

Your email address will not be published. Required fields are marked *