ප්‍රවීණ මාධ්‍යවේදිනී ඩිල්කා සමන්මලී මහත්මියගේ චරිතාපදානයට හානි කරමින් සහ අපහාසාත්මක අන්දමින් යූටියුබ් (YouTube) නාලිකාවක් හරහා වැඩසටහන් මෙහෙයවූ සුදන්ත තිලකසිරි යන අයට එරෙහිව අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කෙරිණි. ඩිල්කා සමන්මලී මහත්මියගේ පියා වන ප්‍රවීණ නාට්‍ය අධ්යක්ෂ සිසිල් ගුණසේකර මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් සහ මාධ්‍යවේදීන් පිරිසක් එක්ව මෙම නීතිමය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.අදාළ යූටියුබ් නාලිකාව මඟින් අශිෂ්ට වචන භාවිතා කරමින් සිදුකර ඇති මෙම මඩ ප්‍රචාරයන් දේශපාලන කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බවත්, හුදු ජනප්‍රියතාවය උදෙසා සිදුකරන මෙවැනි පහත් ක්‍රියාවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි. මෙම සිදුවීමට අදාළව ලංකාව තුළ පමණක් නොව, ඕස්ට්‍රේලියාවේදී පවා නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත්, අදාළ පුද්ගලයාගෙන් වන්දියක් අය කර ගැනීමට බලාපොරොත්තු වන බවත් නීතිඥ නලින් පතිරණ මහතා ඇතුළු පිරිස මාධ්‍ය වෙත ප්‍රකාශ කළහ.මෙම අවස්ථාව සඳහා මාධ්‍යවේදිනී තිළිණි රණසිංහ සහ කුමුදුනී බණ්ඩාර යන මහත්මීන් ද එක්ව සිටි අතර, ඔවුන් පෙන්වා දුන්නේ මාධ්‍ය නිදහස යන්න පුද්ගල නිදහසට සහ ගරුත්වයට හානි කිරීම සඳහා බලපත්‍රයක් නොවන බවයි. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන පවත්වා අදාළ නාලිකාවට සහ එහි මෙහෙයවන්නන්ට එරෙහිව උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරන බව පීඩාවට පත් පාර්ශවය වැඩිදුරටත් සඳහන් කළහ.
























