මෑතකදී සිදු වූ ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ මෙට්‍රික් ටොන් 37,000ක ඩීසල් රැගත් නෞකාවක් ලබන මාර්තු 25 වනදා දිවයිනට ළඟා වීමට නියමිත බවයි. ලෝක වෙළඳපොළේ පවතින දැඩි මිල අස්ථාවරත්වය හමුවේ වුවද අඛණ්ඩව ඉන්ධන සැපයුම තහවුරු කිරීමට පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා, අප්‍රේල් මාසය සඳහා වන ඩීසල්, පෙට්‍රල් සහ ගුවන් යානා ඉන්ධන ඇතුළත් ඉදිරි ආනයන කාලසටහනද මෙහිදී අනාවරණය කළේය. කෙසේ වෙතත්, ලෝක දේශපාලනික අර්බුද හමුවේ ඉන්ධන නිෂ්පාදනයට එල්ල වී ඇති බලපෑම සැලකිල්ලට ගනිමින් අප්‍රේල් මාසයට නියමිතව තිබූ බොරතෙල් නැව අවලංගු කර ඇති අතර එය ජූනි මාසයේදී මෙරටට ලැබෙනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.සිදු කරන ලද මිල සංශෝධන මධ්‍යයේ වුවද, පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා රජය ඩීසල් ලීටරයකින් රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20ක් වශයෙන් දැවැන්ත පිරිවැයක් දරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව මාසිකව රුපියල් බිලියන 20ක පමණ සහනාධාරයක් රජය විසින් ලබා දෙන අතර, මෙම සම්පූර්ණ පිරිවැය රජය විසින්ම දැරීමට ගියහොත් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ අතිරේක බරක් ආර්ථිකයට දැරීමට සිදුවන බව ඔහු අනතුරු ඇඟවීය. මෙම තත්ත්වය හමුවේ ඉන්ධන පරිභෝජනය අවම කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ වන විට QR කේත ක්‍රමය යටතේ ලියාපදිංචි වී ඇති පිරිස මිලියන හයක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, රාජ්‍ය අංශයේ බලශක්ති පිරිවැය අඩු කිරීමට සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
























