තලංගම, අකුරගොඩ ප්රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට තුවක්කුකරුවන් භාවිතා කළ බවට සැක කෙරෙන මෝටර් රථය ගාල්ල, අගලිය ප්රදේශයේ අතුරු මාර්ගයක අතහැර දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාව වන විටත් මෝටර් රථය ගිනි ගනිමින් තිබූ බව වාර්තා වේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ වන අතර, දැනට විදේශගතව සැඟව සිටින “කරන්දෙණිය සුද්දා” ලෙස හැඳින්වෙන ජයලත් සිල්වා නමැති සංවිධානාත්මක අපරාධකරු විසින් මෙම ද්විත්ව ඝාතනය මෙහෙයවන්නට ඇති බවට පොලිසිය සැක කරයි. මියගිය නීතිඥවරයා මීට පෙර කරන්දෙණිය සුද්දා වෙනුවෙන් පෙනී සිට ඇති නමුත්, පසුව ඔහුගේ ප්රතිවිරුද්ධ පාර්ශවයක් වන “ලොකු පැටී” නමැති අපරාධකරු වෙනුවෙන් පෙනී සිටීම මෙම ඝාතනයට හේතුවන්නට ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.


























