පවතින ගෝලීය යුදමය වාතාවරණය හමුවේ රජයේ අකාර්යක්ෂම කළමනාකරණය දැඩි විවේචනයට ලක් කරමින් සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් මහතා අද (24) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය. දින 40කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත මෙරට පවතින බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබියදී, හදිසියේම ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණය පිටුපස ඇති සැබෑ අරමුණ කුමක්දැයි ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියේය. පෞද්ගලික තෙල් සමාගමක අවශ්‍යතාවය මත මෙම මිල සංශෝධනය සිදුකර ඇති බවට ඔහු චෝදනා කළේය.ලෝක වෙළඳපොළේ අර්බුද මතු වීමට පෙර සිටම සෙසු රටවල් ඒ සඳහා සූදානම් වුවද, ශ්‍රී ලංකා රජයට එවැනි කිසිදු අවබෝධයක් නොමැති බව රහුමාන් මහතා පෙන්වා දුන්නේය. ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පෞද්ගලික බස් රථ ගාස්තු ඇතුළු අනෙකුත් සියලුම අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ මිල ඉහළ යන බවත්, මෙය ජනතාව මත පැටවෙන අතිරේක බරක් බවත් ඔහු පැවසීය. විදුලි බිල සහ පරිභෝජනය සීමා කරන ලෙසට රජයේ පාර්ශවයෙන් කෙරෙන ඉල්ලීම් හුදු කැපකිරීම් ලෙස හැඳින්වීම හාස්‍යයට කරුණක් බව ද ඔහු සඳහන් කළේය.”යුද්ධය අස්සෙත් සුද්දේ දානවා” යනුවෙන් රජයේ ක්‍රියාකලාපය හඳුන්වා දුන් මන්ත්‍රීවරයා, ආණ්ඩුව ඕනෑම ගැටලුවකදී වගකීමෙන් බැහැරව කටයුතු කරන බව අවධාරණය කළේය. හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී ගියද සිංගප්පූරුවෙන් තෙල් ලබාගත හැකි බවට කළ ප්‍රකාශවලින් පෙනී යන්නේ බලධාරීන් පවතින තත්ත්වයේ බැරෑරුම්කම වටහාගෙන නොමැති බවයි. රටේ ව්‍යාපාරිකයින්ට සහ තනි ආයතනවලට අවශ්‍ය පරිදි මිල තීරණය කිරීමට ඉඩ ලබාදීම හරහා සාමාන්‍ය ජනතාව දැඩි අගාධයකට ඇද දමා ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
























