ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි මහතා අතර පසුගියදා දුරකථන සංවාදයක් පවත්වා ඇති අතර, එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා නොවෙනස්ව පවත්වා ගැනීමටත් ඒවා තවදුරටත් ශක්තිමත් කිරීමටත් අවධානය යොමු වී ඇත. ඇමරිකානු සම්බාධකවලට බියෙන් ශ්‍රී ලංකාව ඉරානය වෙත සිදු කරන අපනයන නතර කිරීමට සූදානම් වන බවට පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව අවධාරණය කළේය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ, ඉරානයට පනවන ලද ජාත්‍යන්තර සම්බාධකවලට පෙර ශ්‍රී ලංකාව ලබාගත් බොරතෙල් නැව්ගත කිරීම් වෙනුවෙන් ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ණය මුදල තවමත් ගෙවමින් පවතින බවයි. මෙම ණය මුදල පියවීම සඳහා 2023 අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වන ‘තේ වෙනුවට තෙල්’ (tea-for-oil) මාරු කිරීමේ ක්‍රමය යටතේ මසකට ඇමරිකානු ඩොලර් මිලියන 5 ක වටිනාකමකින් යුත් තේ ඉරානයට අපනයනය කරන බවත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය හරහා අදාළ අපනයනකරුවන්ට ගෙවීම් සිදු කරන බවත් ඔහු පැහැදිලි කළේය.මෙම එකඟතාවය දිගටම පවත්වාගෙන යන බව සහතික කළ අමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉරානය ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව ද ඉරාන විදේශ අමාත්‍යවරයා වෙත පිරිනමන ලදී. විශේෂ කරුණක් වන්නේ, ඉරානය සමඟ වෙළඳාම් කරන රටවලට අතිරේක තීරුබදු පැනවීමට අදාළ විධායක නියෝගයකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීමට පෙර මෙම සුහද සාකච්ඡාව සිදුව තිබීමයි.


























