කුඩා දරුවන් කෙරෙහි සමාජ මාධ්‍ය භාවිතය ඇති කරන බලපෑම පිළිබඳව සොයා බලා, ඉදිරියේදී අවශ්‍ය විය හැකි නියාමන පියවර සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ සමඟ රජය මූලික සාකච්ඡා ආරම්භ කර තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ සෞඛ්‍ය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය සෙනසුරාදා මේ පිළිබඳ විශේෂ හමුවක් පවත්වා ඇත. වයස අවුරුදු 12 හෝ 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැති බවත්, එවැනි නියාමනයක අවශ්‍යතාව සහ ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බවත් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය. මීට අමතරව, අන්තර්ජාලය භාවිතය පිළිබඳව දෙමාපියන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත. ඕස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය සහ ප්‍රංශය වැනි රටවල් මේ වන විටත් දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කරමින් විවිධ නීති පනවා ඇති පසුබිමක ශ්‍රී ලංකාව ද මෙම පියවර ගෙන තිබේ.


























