සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලසීමාවේ මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි මහනුවර දිස්ත්‍රික් පොලිස් අධිකාරි ඩී.සී.ඩී ඉලංගකෝන් මහතා පවසයි. බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන කළමනකරණය සඳහා අවශ්‍ය සියලුම කටයුතු මේවන විට සූදානම් කර ඇතැයිද ඒ මහතා පැවසීය.
පොලිස් අධිකාරිවරයා මේ බව පැවසුවේ , අද (10) 2025 සිරි දළදා වන්දනාව සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති පූර්ව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මේ වනවිට ශ්‍රි ලංකා පොලීසීය , පොලිස්පතිතුමා සහ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ උපදෙස් අනුව සිරි දළදා වන්දනාව සඳහා ඇති ආරක්ෂක තත්ත්වයත් මහනුවර නගරයේ රථ වාහන සැළැස්මත් සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව කටයුතු කරන බවද පැවසුවේය.
දිනකට ලක්ෂ 02කට අධික මහජනතාවක් බලා පොරොත්තුවන බවත්, මහ මළුවට ඇතුළු වීමට පෝළිම් 03කින් හැකියාව ඇති බවත්, පෝළිම් 02ක් කුවින්ස් හෝටලය ඉදිරියෙනුත් අනෙක් පෝළිම වතුර මල ආසන්නයෙනුත් මහ මළුවට යොමු කිරීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.
ශ්‍රි දළදා වහන්සේට පූජා කරන පූජා භාණ්ඩයක් හැර වෙනත් කිසිදු ගමන් මල්ලක් ඇතුළට ගෙන යාමෙන් වළකින ලෙස පොලිස් අධිකාරිවරයා පැමිණෙන බැතිමකුන්ගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටියේය.
තවද පෝළිම් 03ම අවසාන පරික්ෂා කිරීමට පෙර තවත් එක් ස්ථානයකින් පරීක්ෂාවට ලක් වෙන බවත්, එම ස්ථානයේ ගමන් මළු 8000ක් 9000ක් තබා ගැනීමට හැකියාව ඇති බවත්, තමන් රැගෙන එන ගමන් මළුවල වටිනා බඩු රැගෙන ඒමෙන් වළකින ලෙසත් හැකිතාක් ගමන් මඵ රැගෙන ඒම මගහරිනවා නම් එය සැදැහැවතුන්ට පහසුවක් වන බවත් පොලිස් අධිකාරිතුමා පෙන්වා දුන්නේය.
එමෙන්ම මහනුවර ඉතා සීමීත මාර්ග පද්ධතියක් තිබෙන බැවින්, විශාල වාහන ප්‍රමාණක් දරා ගැනීමට හැකියාවක් නොමැති බවත් එ බැවින් රථ වාහන කළමණාකරණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බවද පැවසීය.
පාසැල් නිවාඩුව හැරුනු පසු මහ නගරය තුළ අනෙකුත් රාජ්‍ය ආයතන , පෞද්ගලික ආයතන ,වෙළෙඳ සැල් විවෘතව පවතින බැවින් විශාල වාහන සංඛාවක් මහනුවර නගරයට ඇතුළවෙයි යන බලාපොරොත්තුව ඇතැයි කීය.
විලියම් ගොපල්ලව මාවත , සිරිමාවෝ බණ්ඩාරනායක මාවත , පරණ පේරාදෙණිය පාර , කටුගස්තොට දෙසට ඩි.එස්. සේනානායක විදීය.තිලක් රත්නායක මාවත, තැන්නකුඹුර මාර්ගය ඇතුළු නුවර නගරය ඇතුළත ඇති සියලුම මාර්ග සහ අතුරු මාර්ග වාහන නොනැවැත්වීමේ කළාපයක් ලෙස පවත්වාගෙන යන බවත් සැහැල්ලු රථවාහන වලට නගර සභාව වෙන් කර ඇති රථ ගාල සහ කරලියේ රථ ගාලත් පහසුවන රථගාල භාවිතා කළ හැකි බවත් පොලිස් අධිකාරිවරයා පෙන්වා දුන්නේය.
සාමාන්‍ය ගමන්වාර සහිත බස් රථ නගර තුළට ඇතුල් කරන බවත් නගරය තුළ ක්‍රියාත්මක කෙටි දුර ගමන්වාර බස් රථ සියල්ලම මහනුවර නගර තුළ නැවැත්වීමට ඉඩ ලබා දීමට නොහැකි බවත් Touch and Go ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇතැයිද කීය.
බෝගම්බර බස් පර්යන්තයෙන් පටන්ගන්නා දුර ගමන් බස් රථ සේවා ඔවුන්ගේ ගමන් වාරය පටන් ගැනීමට විනාඩි 10කට පෙර අදාළ ස්ථානයට පැමිණ මගීන් නංවා ගෙන යා යතුව ඇති බව ද හෙතෙම පැවසීය.
සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ වාහන නගරයට ඇතුළු කිරිමට සම්පූර්ණයෙන්ම සීමා කර ඇති බවත් ඒ සඳහා ස්ථානයන් වෙන් කර ඇති බවත් ෂටල් සර්විස් එකක් මඟින් ඉන් එහාට බැතිමතුන් කැඳවාගෙන යන බවද සඳහන් කළේය.
ජංගම දුරකතන රැගෙන ඒම තහනම්කර නොමැති බවත් නමුත් අවසාන පරීක්ෂාවේදි එය ක්‍රියා විරහිත කර තබා ගන්නා ලෙසත් සම්ප්‍රධායක් විදිහට සිරි දළදා වහන්සේ වැඩ සිටින ස්ථානය ඡායා රූප ගැනීමට හෝ විඩීයෝ කිරීමට කිසිවෙකුට අවසර දී නොමැති බවද කීය.
තවද ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කඩුගන්නාව සහ කටුගස්තොට සිට සෑම විනාඩි 45 වරක්ම මහනුවර දක්වා විශේෂ දුම්රිය සේවාවක් පවත්වන බවත් පොලිසීය විසින් හඳුන්වා දී ඇති රථ වාහන සැළැස්මට අනුගතව අපට අවශ්‍ය සහය ලබා දෙන ලෙසත් පැමිණෙන බැතිමතුන්ගෙන් පොලිස් අධිකාරි ඩී.සී.ඩී ඉලංගකෝන් මහතා ඉල්ලා සිටියේය.
