දිට්වා සුළි කුණාටු ව්‍යසනය: මියගිය සහ අතුරුදන් වූවන් වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීම වේගවත් කෙරේ

​”දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම්වලින් ජීවිත අහිමි වූ පුද්ගලයන්ගෙන් 80% කට පමණ මේ වන විට මරණ ලියාපදිංචි සහතික නිකුත් කර ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මියගිය පුද්ගලයන් 519 දෙනෙකු සඳහා මේ වන විටත් මරණ සහතික නිකුත් කර ඇති අතර, හඳුනාගත් තවත් පුද්ගලයන් 92 දෙනෙකු වෙනුවෙන් සහතික නිකුත් කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව, මෙම ව්‍යසනයෙන් පසු මේ දක්වා පුද්ගලයන් 611 දෙනෙකුගේ සිරුරු හඳුනාගෙන ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් සසීදේවි ජල්දීපන් මහත්මිය සඳහන් කළාය.​පවතින තත්ත්වය පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ රෙජිස්ට්‍රාර් ජනරාල්වරිය, නායයෑම් සහ ගංවතුර හේතුවෙන් අතුරුදන් වී ඇති බවට වාර්තා වන පුද්ගලයන් 164 දෙනා අතුරින් 92 දෙනෙකුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගේ නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බව පැවසුවාය. හඳුනාගත් සියලුම සිරුරු වෙනුවෙන් කිසිදු ප්‍රමාදයකින් තොරව මරණ සහතික නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇය උපදෙස් දී ඇත. හඳුනාගත් මරණ සඳහා පවතින නීතිමය රාමුව යටතේ කඩිනමින් සහන සැලසීම දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ කාර්යයක් වී තිබේ.​මේ අතර, හදිසි ආපදා හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් නියමිත කාලය ඇතුළත කිසිදු තොරතුරක් අනාවරණය නොවන්නේ නම්, ඔවුන් වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසමින් රජය විසින් පසුගිය 2 වනදා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව, අදාළ අතුරුදන් වූ පුද්ගලයා සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවක් ඉදිරිපත් නොවන්නේ නම්, රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ බලයලත් උපදෙස් මත ප්‍රාදේශීය ලේකම්වරයා හරහා, අදාළ ප්‍රාදේශීය නියෝජ්‍ය හෝ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අනුමැතිය ඇතිව මරණ සහතික නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.

What's your reaction?

Related Posts

1 of 924

Leave A Reply

Your email address will not be published. Required fields are marked *