ශතවර්ෂයකට අධික කාලයක් ලොව පුරා සමරනු ලබන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සුබපැතුම් එක්කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලන හා සමාජීය ක්ෂේත්‍රයන්හි කාන්තාව ඉටුකරන සුවිශේෂී මෙහෙවර ඇගයීමට ලක් කරයි. මෙරට ජනගහනයෙන් 52%ක් නියෝජනය කරමින් ඇඟලුම්, වතු සහ විදේශ රැකියා ඇතුළු ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රයන් ශක්තිමත් කරන කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව තහවුරු කිරීම එක් දිනකට පමණක් සීමා නොවිය යුතු බව එතුමා අවධාරණය කරයි. විශේෂයෙන්ම 2025 වසරේ මෙරට ලැබූ ආර්ථික ජයග්‍රහණ පිටුපස සිටි කාන්තා ශක්තිය කෘතවේදීව සිහිපත් කරන ජනාධිපතිවරයා, සමාජ සාධාරණත්වය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් රජය කැපවී සිටින බව ප්‍රකාශ කරයි.කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් සහ වෙනස්කොට සැලකීම් තුරන් කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම්වලට ප්‍රමුඛතාව ලබා දී ඇති බවත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයක් සහිත වර්තමාන පාර්ලිමේන්තුව නව පරිච්ඡේදයක් සනිටුහන් කර ඇති බවත් මෙහිදී සඳහන් වේ. මලයගම් ප්‍රජාව නියෝජනය කරමින් ප්‍රථම වරට කාන්තා මන්ත්‍රීවරියක් තේරී පත්වීම ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන ජනාධිපතිවරයා, ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් තුළ කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බව පවසයි. “සෞභාග්‍යමත් දේශයක – ඇය පෙරමුණට” යන මෙවර තේමාව යටතේ, සදාචාර සම්පන්න සහ ප්‍රගතිශීලී අනාගතයක් ගොඩනැගීමේ ගමනට ශක්තිමත් හවුල්කරුවන් ලෙස එක්වන ලෙස එතුමා සියලු ශ්‍රී ලාංකේය කාන්තාවන්ට ආරාධනා කරයි.

























