දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපාන පරිදි දැඩි අකුණු පිළිබඳ ‘ඇම්බර්’ මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ. 2026 පෙබරවාරි 6 වන බ්‍රහස්පතින්දා මධ්‍යහ්න 12.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය එදින රාත්‍රී 11.00 දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට දැඩි අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ගොඩනැගිලි තුළ රැඳී සිටින ලෙසත්, ගස් යට සිටීමෙන් වළකින ලෙසත් උපදෙස් දෙනු ලැබේ. එසේම කුඹුරු, තේ වතු හෝ විවෘත ජලාශ වැනි ස්ථානවල රැඳී නොසිටින ලෙසත්, දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද උපකරණ භාවිතයෙන් වළකින ලෙසත් දන්වා ඇත. මීට අමතරව පාපැදි, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතය අනතුරුදායක බවත්, කඩා වැටුණු ගස් හෝ විදුලි රැහැන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි. හදිසි අවස්ථාවකදී සහාය ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය ආපදා කළමනාකරණ බලධාරීන් සම්බන්ධ කර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.


























