දිවයිනේ ඌව පළාතේ මෙන්ම මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් පස්වරු 2:00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ද අපේක්ෂා කෙරේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත.මුහුදු ප්‍රදේශ සැලකීමේදී, හම්බන්තොට සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු තීරයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර, කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සුළඟ නැගෙනහිර හෝ ඊසාන දෙසින් පැයට කිලෝමීටර් 20-30 ක වේගයෙන් හමා එන අතර, මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 දක්වා වැඩිවිය හැකි බැවින් එම ප්‍රදේශ මධ්‍යස්ථ ස්වභාවයක් ගනු ඇත. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.


























