දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණික තත්ත්වයක් පවතින නමුත්, ඇතැම් දිස්ත්‍රික්කවලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව ඌව පළාතේ මෙන්ම අම්පාර, මඩකලපුව, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ (පස්වරු 2.00 න් පසු) ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ද අපේක්ෂා කෙරේ.සමුද්‍ර කලාපය පිළිබඳව අවධානය යොමු කිරීමේදී, කළුතර සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයින වටා සුළඟ ඊසාන දෙසින් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර් 30-40 ක් පමණ වේ. කෙසේ වෙතත්, කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45-50 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව දන්වා සිටියි. සෙසු මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථ ස්වභාවයක් ගනු ඇත.

























