දිවයින වටා වැසි තත්ත්වය ඉහළට: නාවික හා ධීවර ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්!

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් වායුගෝලයේ පහළ මට්ටමේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර, උතුරු සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද දිනයේ නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම සහ ඌව පළාත්වල මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි ඇතිවිය හැක. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. වයඹ සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.​මේ අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද කාලගුණය රළු විය හැකි බැවින් නාවික හා ධීවර ප්‍රජාව මේ පිළිබඳව විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටී. විශේෂයෙන් පුත්තලමේ සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සුළගේ වේගය පැයට කිලෝමීටර් 30-40 ක් පමණ වන අතර, ඇතැම් මුහුදු තීරයන්හි එය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 923

Leave A Reply

Your email address will not be published. Required fields are marked *