දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පසුගිය දෙසැම්බර් 6 වනදා අතුරුදන් වූ කහ පැහැති ඇනකොන්ඩා පැටවා දින 10ක දැඩි සෝදිසි කිරීමකින් පසු සොයාගත් බව සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂ කසුන් හේමන්ත සමරසේකර මහතා පවසයි. ඊයේ (16) රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ඇනකොන්ඩා කූඩුවට මීටර් කිහිපයක් දුරින් පිහිටි අල්මාරියක ලාච්චුවක් යට සැඟවී සිටියදී මෙම පැටවා සොයාගෙන ඇත. සත්වයා අතුරුදන් වූ දින සිට දිවා කාලයේ සෝදිසි කිරීම් සිදුකළ අතර, මීට දින තුනකට පෙර සිට රාත්‍රී කාලයේද මෙහෙයුම් ආරම්භ කළ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැහැදිලි කළේ, ඇනකොන්ඩා පැටවා සිය කූඩුවේ තිබූ ඉතා කුඩා සිදුරකින් පලාගොස් අසල තිබූ අල්මාරි ලාච්චුවක් තුළ සැඟවී සිට ඇති බවයි. පිඹුරන් සහ ඇනකොන්ඩා වැනි සතුන් සාමාන්‍යයෙන් සතියකට හෝ සති දෙකකට වරක් ආහාර ගන්නා බැවින්, අතුරුදන්ව සිටි කාලය තුළ මෙම පැටවාට ආහාර සම්බන්ධ ගැටලුවක් මතු නොවූ බවත්, සත්වයා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත්, වැඩිදුර නිරීක්ෂණ කටයුතු සඳහා ඇනකොන්ඩා පැටවා මේ වන විට නිරෝධායන මට්ටමක රඳවා තබා ඇත.


























