සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (දෙසැම්බර් 30) ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් 2025 වසර සඳහා හඳුනාගත් නව නිෂ්පාදන හතක් නිල වශයෙන් එළිදක්වන ලදී. මෙහිදී කුබ්ජ ප්‍රසාරණී තෛලය, බාල කොරණ්ඩ තෛලය, පංචවල්කල චූර්ණය සහ වකුගඩු අස්ථි මිදුළු පෙති (Bone Marrow Pills) වැනි ඖෂධීය නිෂ්පාදන මෙන්ම, පිණ්ඩ බාම්, රත්හඳුන් බොඩි වොෂ් සහ පංචවල්කල ෂැම්පු වැනි ශාකසාර නිෂ්පාදන ද සංස්ථාවේ නිෂ්පාදන එකතුවට අලුතින් එක් විය.මෙම උත්සවය ඇමතූ අමාත්‍යවරයා සඳහන් කළේ ගතවූ වසර ආයතනික පදනම ශක්තිමත් කිරීමට සහ නිෂ්පාදන ක්ෂේත්‍රය නඟාසිටුවීමට යොදාගත් බවයි. ආයුර්වේද ඖෂධ සංස්ථාව මේ වසරේ රුපියල් මිලියන 1,660ක ඉහළම ආදායමක් වාර්තා කර ඇති බවත්, එහි ගෞරවය සභාපතිවරයා ඇතුළු 375ක කාර්ය මණ්ඩලයට හිමිවන බවත් ඔහු පැවසීය. නිරෝගී ශ්‍රී ලංකාවක් බිහිකිරීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාව වන අතර, ජනතාවට පහසුවෙන් භාවිතා කළ හැකි අයුරින් ආයුර්වේද නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.වසර 56ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව දැනට නිෂ්පාදන 194ක් පමණ වෙළෙඳපොළට නිකුත් කරන අතර, දිවයින පුරා විසිරී ඇති ආයුර්වේද රෝහල් සහ බෙහෙත් ශාලා වෙත ඖෂධ සැපයීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි. 2024 වසරේ රාජ්‍ය ආයතන විසින් සිදුකළ මිලදී ගැනීම් පදනම් කරගනිමින් සංස්ථාවේ ප්‍රගතිය ඇගයීමට ලක් කිරීම ද මෙහිදී විශේෂත්වයක් විය.


























