මහජන අයිතියට පත්කර දින කිහිපයක් ගතවීමටත් පෙර නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දේපලවලට හානි කර සොරකම් සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. කැලණිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මෙම පුද්ගලයා සොරකම් කරන ලද දේපළ කිහිපයක් ද සමඟින් ඊයේ (11) දින අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේදීමය.මෙම විමර්ශනය ආරම්භ වූයේ බස් නැවතුම්පොළේ සුභසාධක අංශය විසින් පිටකොටුව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවය. පසුගිය 08 වැනිදා විවෘත කරන ලද මෙම බස් නැවතුම්පොළේ දේපලවලට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් විශේෂ තක්සේරු වාර්තාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් කැඳවීමට ද නියමිතව ඇත.අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය. පොදු දේපල විනාශ කරන්නන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව විමර්ශන නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.
























