ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට එළඹෙන පෙබරවාරි 25 සහ 27 යන දිනවල සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගම්වල දේශන පැවැත්වීම සඳහා කර ඇති ආරාධනය වහාම අවලංගු කරන ලෙස ‘ටැමිල් සොලිඩාරිටි’ (Tamil Solidarity) සංවිධානය බලකර සිටියි. මෙම ආරාධනය සම්බන්ධයෙන් සිය දැඩි පිළිකුල පළ කරන එම සංවිධානය පෙන්වා දෙන්නේ, යුද අපරාධ, දූෂණය සහ මර්දනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දේශපාලන පවුලක නියෝජිතයෙකුට මෙවැනි ගෝලීය වේදිකාවක් ලබා දීම මගින් ඔහුගේ දේශපාලන ප්‍රතිරූපය පිරිසිදු කිරීමට උත්සාහ දරන බවයි.රාජපක්ෂ පාලන සමය තුළ දෙමළ ජනතාවට එරෙහිව සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, අතුරුදහන් කිරීම් සහ 2022 වසරේ රට ආර්ථික බංකොලොත්භාවයට ඇද දැමීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම සංවිධානය සෘජුවම චෝදනා කරයි. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුවාවෙන් මෙවැනි පුද්ගලයන්ට ඉඩකඩ ලබා දීම, එම අපරාධවලින් පීඩාවට පත් වූවන් සහ සරණාගතයන් ලෙස සිටින දෙමළ සිසුන් නැවතත් මානසික කම්පනයකට ලක් කිරීමක් බව ඔවුන් අවධාරණය කරයි.මෙම දේශන වහාම අවලංගු කර, එවැනි තීරණයක් ගැනීමට හේතු වූ කරුණු පැහැදිලි කරන ලෙසත්, යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ට මෙවැනි අවස්ථා ලබා නොදෙන ලෙසත් එම සංවිධානය මෙම ශිෂ්‍ය සංගම්වලින් ඉල්ලා සිටියි. යම් හෙයකින් මෙම දේශන සැලසුම් කළ පරිදි පැවැත්වීමට කටයුතු කළහොත්, ඊට එරෙහිව දැඩි විරෝධතා ව්‍යාපාර දියත් කරන බවට ද ‘ටැමිල් සොලිඩාරිටි’ සංවිධානය අනතුරු ඇඟවීමක් කර ඇත.

























