ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින්, පසුගිය රජය ලබාගත් ආර්ථික ජයග්‍රහණ ඇගයීමට ලක් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. වර්තමාන රජය සාර්ව ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීමට සහ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට දක්වන කැපවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය මෑතකදී කළ පැසසුම් සහගත ප්‍රකාශයකින් අනතුරුව මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර තිබේ. ‘X’ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, වත්මන් රජය පවත්වාගෙන යන ස්ථාවරත්වය සහ ජෝර්ජීවා මහත්මියගේ සුබවාදී ආකල්පය තමන් අගය කරන නමුත්, රටේ තීරණාත්මක ආර්ථික පිම්ම ඇති වූයේ පසුගිය පාලන සමයේදී බවයි.එහිදී ඔහු විශේෂයෙන් පෙන්වා දුන්නේ 70% ක්ව පැවති උද්ධමනය 2% දක්වා පහත හෙළීමටත්, -7.3% ක්ව තිබූ ආර්ථික වර්ධන වේගය +5% දක්වා ඉහළ නැංවීමටත් පසුගිය රජය සමත් වූ බවයි. එමෙන්ම මෙරට ප්‍රථම ජාතික පාලන විනිශ්චය අධ්‍යයනය (Governance Diagnostic Study) ඉල්ලා සිටීම සහ එය සම්පූර්ණ කිරීමද එම කාලය තුළ සිදු වූ බව ඔහු සිහිපත් කළේය. මේ නිසා වත්මන් ප්‍රතිසංස්කරණ මෙන්ම එම අසීරු කාලසීමාවේදී අත්කරගත් සාර්ථකත්වයන්ද එක හා සමානව පිළිගත යුතු බව හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.


























