සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ, ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සම්බන්ධ වූ බව කියන සිද්ධියකින් පසු අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක්ව සිටින පොලිස් කොස්තාපල්වරයා, තමන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් රත්නපුර මානව හිමිකම් කොමිසමේ උප කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින ඔහු, තමන් දැනට ආදායම් මාර්ගයක් නොමැතිව දැඩි මූල්‍ය දුෂ්කරතාවයකට පත්ව සිටින බවත්, මෑතකදී සිදුකළ බයිපාස් සැත්කම සඳහා ලබාගත් ණය වාරික ගෙවා ගැනීමට පවා නොහැකිව තම පවුල අසරණ වී ඇති බවත් සඳහන් කළේය.තමන් රාජකාරියේ නියැලී සිටියදී මන්ත්‍රීවරයා තමන්ට පහර දුන් බවත්, එහෙත් මන්ත්‍රීවරයාට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් පවසන කොස්තාපල්වරයා, පහස් වසර ශිෂ්‍යත්වය සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තම දරුවන් දෙදෙනා ඇතුළු පවුල නඩත්තු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව කියා සිටියි. මේ අතර, ඔහුගේ බිරිඳ වන පුෂ්පා මාලකාන්ති මහත්මිය චෝදනා කරන්නේ මන්ත්‍රීවරයාගේ බිරිඳ සේවය කරන පාසලේම තම දරුවන් ඉගෙනුම ලබන බවත්, ඇය සමාජ මාධ්‍ය ඔස්සේ දරුවන්ගේ පියාට එරෙහිව සිදුකරන ප්‍රකාශ හේතුවෙන් දරුවන් පාසල් යාමට පවා බියක් දක්වන බවයි. ගුරුවරුන් විසින් දරුවන් මෙවැනි සිදුවීම්වලට ගැබ් කර නොගත යුතු බව අවධාරණය කරන ඇය, මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස පාසලේ විදුහල්පතිවරයාගෙන් ඉල්ලීමක් ද කළාය.


























