හෙට (07) සිට ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනය කර ඇත. ඒ අනුව අප්‍රේල් 7, 9 සහ 10 යන දිනවල සභාවේ කටයුතු සිදු කෙරෙනු ඇත. කෙසේ වෙතත්, අප්‍රේල් 08 වනදා රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන්නේ නැත.හෙට දිනයේදී විවිධ පනත් සහ නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිත අතර, අප්‍රේල් 09 වන බ්‍රහස්පතින්දා දිනය වෙන් කර ඇත්තේ යුද, නාවික හා ගුවන් හමුදා පනත් යටතේ වන නියෝග සහ පාස්කු ප්‍රහාරය පිළිබඳ කල්තැබීමේ විවාදය සඳහාය. ආරක්ෂක අංශවල නීතිමය රාමුව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් එදින සාකච්ඡාවට බඳුන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.මෙම සතියේ කැපී පෙනෙනම සිදුවීම වනුයේ අප්‍රේල් 10 වනදා පැවැත්වීමට නියමිත විවාදයයි. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව එදින විවාදයට ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙය රජය සහ විපක්ෂය අතර දැඩි උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.





















