අධ්‍යාපන පද්ධතිය තුළ දැනට පවතින මානව සම්පත් ඌනතාවය මඟහරවා ගැනීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් “පාසල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනු කාරක සභාවේදී” ඊයේ (අප්‍රේල් 09) පැවැත්විණි. නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවියගේ සභාපතිත්වයෙන් රැස්වූ මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ වූයේ පාසල්වල පවතින පුරප්පාඩු පියවීම සඳහා වූ යෝජනා ඇතුළත් විධිමත් වාර්තාවක් සකස් කිරීම පිළිබඳව කරුණු විමසා බැලීමයි.නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මධුර සෙනෙවිරත්න සහ මහින්ද ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්විණි. එහිදී මයිල්වාගනම් ජෙගදීස්වරන්, සුගත් වසන්ත ද සිල්වා සහ පද්මසිරි බණ්ඩාර යන මහත්වරුන් ද අදාළ කරුණු සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටි අතර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පත් කරන ලද විශේෂ කමිටුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි. මෙමගින් පාසල් පද්ධතියේ පවතින ගුරු හා අනෙකුත් කාර්ය මණ්ඩල හිඟයට කඩිනම් විසඳුම් ලබාදීමට අපේක්ෂා කෙරේ.






















