පාසල් සිසුන් ප්‍රවාහන සේවාවන් නියාමනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (පෙබරවාරි 09) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, දැනටමත් සකස් කර ඇති නියාමන කෙටුම්පත් සහ ඊට ඇතුළත් විය යුතු නව යෝජනා පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු විය. විශේෂයෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සමගාමීව ‘සිසු සැරිය’ පාසල් ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීමට මෙහිදී තීරණය කෙරිණි.විධිමත් ප්‍රවාහන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම හරහා පාසල් සිසුන් මුහුණ දෙන ගැටලු අවම කිරීම සහ වගකීම් සහගත සේවාවක් සහතික කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණකි. ප්‍රවාහන සේවය තුළදී සිදුවන බවට වාර්තා වන විවිධ අපයෝජන සහ හිංසනයන් වැළැක්වීම සඳහා ළමා ආරක්ෂණයට ප්‍රමුඛතාවය දෙමින් නීති රීති හඳුන්වා දීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. පාසල් ප්‍රවාහන සේවා සපයන්නන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම මගින් වගවීමෙන් යුතු සේවාවක් සහතික කිරීම මෙහි තවත් එක් පියවරකි.මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ළමා රක්ෂක අධිකාරිය ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


























