පාසල් මුදල් එකතු කිරීම නැවැත්වීමට නම් 5/2015 චක්‍රලේඛය අහෝසි කළ යුතුයි – ජෝසප් ස්ටාලින්

පාසල් මගින් මුදල් එකතු කිරීම සැබවින්ම නැවැත්වීමට නම් රජය වහාම 5/2015 චක්‍රලේඛය අත්හිටුවිය යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නම් අදාළ චක්‍රලේඛය අහෝසි කිරීම අත්‍යවශ්‍ය බවයි. පාසලක සම්පූර්ණ වියදම සිසුන් සංඛ්‍යාවෙන් බෙදා ඔවුන්ගෙන් අය කර ගැනීමට මෙම චක්‍රලේඛය මගින් අවසර දී ඇති බැවින්, ද්විතීයික පාසල්වලින් රුපියල් 8,000 සිට 11,000 දක්වා වූ මුදලක් ද ප්‍රාථමික පාසල්වලින් රුපියල් 3,000 ක මුදලක් ද අය කරන බවත්, වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ දෙමාපියන්ට මෙම බර දරාගත නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.​විශේෂයෙන්ම රජය විසින් සිදු කළ යුතු පාසල් පින්තාරු කිරීම් වැනි කටයුතු සඳහා ද මේ වන විට දෙමාපියන්ගෙන් මුදල් එකතු කරන බව පෙන්වා දුන් ස්ටාලින් මහතා, ඕනෑම ආකාරයක මුදල් එකතු කිරීමක් පැහැදිලිවම තහනම් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කළ යුතු බව පවසයි. එමෙන්ම නව නීති උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිමය පියවර නොගන්නේ නම් මෙම උත්සාහයන් අසාර්ථක වන බව ද ඔහු සඳහන් කළේය. “මුදල් එකතු කිරීම වහාම නවත්වන්න” යනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ලංකා ගුරු සංගම් ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

What's your reaction?

Related Posts

1 of 1,006

Leave A Reply

Your email address will not be published. Required fields are marked *