පාසල් මොඩියුලයකට සමලිංගික වෙබ් අඩවියක් ඇතුළත් වෙයි: කුමන්ත්‍රණයක්දැයි සෙවීමට පරීක්ෂණ ඇරඹේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ සිසුන් සඳහා හඳුන්වා දුන් ඉංග්‍රීසි භාෂා මොඩියුලයකට, සමලිංගික ක්‍රියාකාරකම් සහ LGBTQ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරන වෙබ් අඩවියක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දෙමාපියන් සහ ගුරුවරුන් දැඩි විරෝධය පළ කර තිබේ. ශ්‍රී ලංකාවේ නීතිය සහ සංස්කෘතිය අනුව මෙවැනි කරුණු ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීම පවා සමාජයේ විවේචනයට ලක්වන පසුබිමක, රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සැකසූ විෂය නිර්දේශයකට මෙවැනි දෑ ඇතුළත් වූයේ කෙසේද යන්න ප්‍රශ්නකාරී වී ඇත. මෙම මොඩියුලය පසුගිය අගෝස්තු මාසයේ සිට ගුරු පුහුණු කටයුතු සඳහා ද භාවිතා කර තිබීම විශේෂත්වයකි. මහානායක හිමිවරුන් සහ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු ආගමික නායකයන් ද මීට පෙර අවධාරණය කර ඇත්තේ මෙවැනි බටහිර සංස්කෘතික ආභාසයන් මගින් මෙරට පවුල් සංස්ථාව සහ ආගමික වටිනාකම් විනාශ වන බවයි.​මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි බාහිර පාර්ශවයක් විසින් කුමන්ත්‍රණකාරී ලෙස මෙම වෙබ් අඩවි සබැඳිය ඇතුළත් කර ඇති බවට සැක කරන බවයි. ඒ පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන් හෙළිදරව් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) ඉල්ලා ඇති බවත්, මීට අමතරව අභ්‍යන්තර පරීක්ෂණයක් ද ක්‍රියාත්මක බවත් ඔහු පැවසීය. අදාළ මොඩියුලය තවමත් අවසන් මුද්‍රිත පිටපත නොවන බවත්, සිසුන් අතට පත්වීමට පෙර මෙම දෝෂය නිවැරදි කිරීමට පියවර ගන්නා බවත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. ජාතික අධ්‍යාපන ආයතනය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක මැදිහත්වීමෙන් මෙය සකස් කර ඇති අතර, සිදුවූ වරදේ වගකීම අමාත්‍යාංශය භාර ගන්නා බව ද ඔහු අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 922

Leave A Reply

Your email address will not be published. Required fields are marked *