පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සැබෑ මහමොළකරු සහරාන් හෂීම් බව තහවුරු කිරීමට අවශ්‍ය සියලු සාක්ෂි තමන් සතු බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි. ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී පැවැති “පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සොයා යාම” නමැති සිය නවතම කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම ප්‍රහාරය පිටුපස වෙනත් මහමොළකරුවන් සිටින බවට සමාජගත වී ඇති මතවාදයන් දත්ත හා සාක්ෂි සහිතව බිඳ හෙලීමට තමන් සූදානම් බවත්, කෘතියේ අන්තර්ගත ඕනෑම කරුණක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට වුවද තමන් විවෘත බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු දේශපාලන නායකයන්, හිටපු හමුදා ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. මෙහිදී විශේෂ දේශනය පැවැත්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දුන්නේ, මෙම ප්‍රහාරය සහ රාජපක්ෂ පාලනය සම්බන්ධ කරමින් ජාත්‍යන්තර මට්ටමින් යම් දේශපාලනික මතවාදයක් නිර්මාණය කිරීමට සැලසුම් සහගත උත්සාහයක් පැවති බවයි.ප්‍රහාරයේ සැලසුම් සකස් කිරීමේ සිට එය ක්‍රියාත්මක කිරීම දක්වා වූ සම්පූර්ණ ක්‍රියාවලියේ නියමුවා සහරාන් බවත්, ඉන් පරිබාහිරව එල්ල වන චෝදනා දේශපාලන අරමුණු මත පදනම් වූ ඒවා බවත් ගම්මන්පිල මහතා මෙහිදී තර්ක කළේය. සියලු සාධක අධ්‍යයනය කිරීමේදී ප්‍රහාරයේ මහා මුලකරු සහරාන් බව මැනවින් පැහැදිලි වන බව පවසන ඒ මහතා, ඒ පිළිබඳව විද්‍යාත්මක හා තර්කානුකූල ගවේෂණයක යෙදීමට මෙම කෘතිය හරහා අවස්ථාව සලසා දී ඇත.





















