පියතුමාට එල්ල වූ ප්‍රහාරයට එරෙහිව මීගමුවේදී විරෝධතා

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ යතුරුපැදි බලකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින් කතෝලික පියතුමෙකුට සිදුකළ අමානුෂික ප්‍රහාරය හෙළා දකිමින් අද (ජනවාරි 27) මීගමුව මහා නගර සභාව ඉදිරිපිටදී පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් පිරිසක් නිහඬ විරෝධතාවයක නිරත වූහ. ප්‍රහාරයට එරෙහිව විවිධ වැකි ලියා ඇති පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් සිය විරෝධය පළ කළ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් හයදෙනාගේ සේවය මේ වන විට අත්හිටුවා තිබේ.​කොටදෙණියාව ප්‍රදේශයේ පල්ලියක් යටතේ පාලනය වන වත්තක සහකාර කළමනාකරු ලෙස සේවය කරන මෙම පියතුමා, දිප්පිටිගොඩ පල්ලියේ දේව මෙහෙයකට සහභාගී වී යතුරුපැදියකින් ආපසු එමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත. එම අවස්ථාවේදී පියතුමා පූජක ඇඳුමෙන් සැරසී සිටියද සැකකාර නිලධාරීන් පිරිස ඔහුට පහර දී මඟ දමා ගොස් තිබූ අතර, පසුව පියතුමා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කරනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් නිලධාරීන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා එළඹෙන ජනවාරි 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

What's your reaction?

Related Posts

1 of 987

Leave A Reply

Your email address will not be published. Required fields are marked *