පේරාදෙණියේ “යකා පාලම” යළි පණ ලබයි: ප්‍රතිසංස්කරණ මාස කිහිපයකින් අවසන්!

පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය “යකා පාලමේ” (Devil’s Bridge) ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරි මාස දෙක තුන ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බව මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ (CECB) ඉංජිනේරු මිහිර ගුණසේන මහතා ප්‍රකාශ කළේය. මෑතකදී ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පසු පාලමේ එක් කුළුණක් දිනකට මිලිමීටර් හයක් වැනි වේගයකින් අඛණ්ඩව ඇලවීමට පටන් ගෙන තිබූ අතර, කිමිදුම්කරුවන්ගේ සහය ඇතිව ඉංජිනේරුවන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පාලමේ මැද කුළුණ යට විශාල කුහරයක් නිර්මාණය වී ඇති බවයි.​එම කුහරය ජලය යටදී භාවිත කළ හැකි කොන්ක්‍රීට් (Underwater concrete) යොදා පුරවා අවසන් කර ඇති අතර, ඒ සමඟම කුළුණ තවදුරටත් ඇලවීම සාර්ථකව පාලනය කිරීමට හැකි වූ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. දැනට නතර කර ඇති දුම්රිය ධාවන කටයුතු ප්‍රතිසංස්කරණ කටයුතු නිම වූ වහාම යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මීට පෙර, සුළි කුණාටුව හේතුවෙන් පාලම අසල සිරවී තිබූ දැවැන්ත අපද්‍රව්‍ය ඉවත් කර ජල ගලායාම යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සති දෙකක දැවැන්ත මෙහෙයුමක් දියත් කළ අතර, එය පාලමේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉවහල් විය.​ඉංජිනේරුවන්ට දින දහයකට වැඩි කාලයක් විශාල අභියෝගයක්ව පැවති මහවැලි ගඟේ මෙම අවහිරතාවය ඉවත් කිරීමේ මහා පරිමාණ මෙහෙයුම දෙසැම්බර් 15 වන සඳුදා දින ආරම්භ කර සාර්ථකව නිම කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 922

Leave A Reply

Your email address will not be published. Required fields are marked *