පොල්තෙල් සහ පාම් තෙල් බදු ඉවත් කිරීමේ සූදානම ගැන පාරිභෝගික සුරැකීමේ සංවිධානවලින් අනතුරු ඇඟවීමක්!

පොල්තෙල් සහ පාම් තෙල් සඳහා පනවා ඇති විශේෂ බද්ද ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් වෙළඳපොළ තුළ බාල ප්‍රමිතියෙන් යුතු තෙල් වර්ග මිශ්‍ර කිරීමේ ප්‍රවණතාවක් ඇති විය හැකි බවත්, එය පාරිභෝගික සෞඛ්‍යයට දැඩි අවදානමක් බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධාන අනතුරු අඟවයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසා සිටියේ, මෙම බදු සංශෝධනය හේතුවෙන් එළඹෙන අප්‍රේල් 01 වැනිදා සිට දේශීය පොල්තෙල් මිල ඉහළ යාමේ අවදානමක් ද පවතින බවයි. ​බදු ඉවත් කිරීමත් සමඟ පාම් තෙල් සහ සෞඛ්‍යයට අහිතකර වෙනත් විකල්ප තෙල් වර්ග විශාල වශයෙන් වෙළඳපොළට ගලා ඒමට ඉඩ ඇති බව විතානගේ මහතා පෙන්වා දුන්නේය. වෛද්‍ය විශේෂඥයින්ට අනුව ගැඹුරු තෙලේ බැදීම (Deep frying) සඳහා ආරක්ෂිත වන්නේ පොල්තෙල් පමණක් බවත්, පාම් තෙල් වැනි ආදේශක භාවිතය සෞඛ්‍ය අවදානම් ඉහළ නංවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එසේම, නිෂ්පාදකයින් විදේශ වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් පොල් අපනයනය වැඩි කිරීම නිසා දේශීය පොල්තෙල් සැපයුම අඩාල වී වෙළඳපොළේ හිඟයක් ඇති විය හැකි බවත්, ඒ හරහා පාරිභෝගිකයින්ට අකමැත්තෙන් වුවද පාම් තෙල් වැනි ආදේශක වෙත යොමු වීමට සිදුවන බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 992

Leave A Reply

Your email address will not be published. Required fields are marked *