අලුතින් හඳුන්වා දුන් ජංගම රසායනාගාර සේවාව මඟින් මඟී ප්‍රවාහන බස් රියදුරන් 56 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ අතර, ඉන් 10 දෙනෙකුම තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වූ බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය. ජනවාරි 22 වනදා ආරම්භ වූ මෙම වැඩසටහනේ පළමු අදියර පිටකොටුව බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විය. එහිදී අහඹු ලෙස තෝරාගත් රියදුරන්ගේ මුත්‍රා සාම්පල පරීක්ෂා කිරීමේදී ‘අයිස්’ (Crystal Meth), හෙරොයින් සහ ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතා කළ පිරිසක් හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.මෙම තත්ත්වය ඉතා බරපතල හා සංකීර්ණ බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඇතැම් රියදුරන් පරීක්ෂා කිරීම් සිදුකරන ස්ථාන මඟහැරීමට විවිධ සන්නිවේදන ක්‍රම හරහා උත්සාහ කර ඇති බව ද සඳහන් කළේය. බස් රථ හිමිකරුවන් සහ මහජනතාව මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය විය යුතු බව ඔහු අවධාරණය කරයි. දැනට බස්නාහිර පළාතෙන් ආරම්භ කර ඇති මෙම ජංගම රසායනාගාර පරීක්ෂණ, ඉදිරියේදී කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව දිවයින පුරා අඛණ්ඩව සහ වැඩි වාර ගණනක් සිදු කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


























