​බාල ගල්අඟුරු ගෙන්වීමෙන් විදුලි පාරිභෝගිකයා අමාරුවේ: විපක්ෂ නායකගෙන් දැඩි චෝදනාවක්!

රජය විසින් ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු මෙරටට ආනයනය කිරීම හේතුවෙන් විදුලි උත්පාදනය අකාර්යක්ෂම වී ඇති බවත්, එමගින් යන්ත්‍රසූත්‍රවලට සිදුවන හානිය සහ රටට සිදුවන මූල්‍ය අලාභය ඉහළ ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විශේෂ වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ සමගි ජන බලවේගය විසින් මේ පිළිබඳ කරුණු අනාවරණය කිරීමත් සමඟ, ගෙන්වා ඇති ගල්අඟුරු බාල මට්ටමේ පවතින බව රජයේ වගකිවයුතු පාර්ශවයන්ට පවා පිළිගැනීමට සිදුවී ඇති බවයි. සාමාන්‍යයෙන් 11-15% මට්ටමේ පැවතිය යුතු අළු ප්‍රමාණය මේ වන විට 21% දක්වා දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර, මෙම අළු බැහැර කිරීම පවා දැඩි පාරිසරික හානියක් සිදුකරන බව ඔහු පෙන්වා දුන්නේය.​ඉදිරි මාස කිහිපය තුළ තවත් ගල්අඟුරු නැව් 15-16ක් මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර, බාල ගල්අඟුරු භාවිතය නිසා ජනන යන්ත්‍රවල මෙගාවොට් ධාරිතාව පහත වැටී ඇති බව විපක්ෂ නායකවරයා අනාවරණය කළේය. මෙම හිඟය පියවා ගැනීම සඳහා ඉන්ධන බලාගාර මගින් විදුලිය උත්පාදනය කිරීමට සිදුවීමෙන් රටට සහ විදුලි පාරිභෝගිකයන්ට දැවැන්ත මූල්‍ය අලාභයක් සිදුවන බවත්, 2009 විදුලිබල පනතේ 30 වැනි වගන්තියට අනුව පාරිභෝගිකයන්ගෙන් මුදල් අය කළ හැක්කේ කාර්යක්ෂම විදුලි උත්පාදනයක් වෙනුවෙන් පමණක් බවත් ඔහු අවධාරණය කළේය. ඒ අනුව, මෙම අකාර්යක්ෂමතාවය නිසා සිදුවන පාඩුව ලක්ෂ 75ක් වන මෙරට විදුලි පාරිභෝගිකයන් මත පැටවීම නීති විරෝධී බව ඔහු පෙන්වා දෙයි.​රජය පොරොන්දු වූ “පද්ධතියේ වෙනස” අවසානයේ දූෂිත බාල ගල්අඟුරු ගනුදෙනුවලින් කෙළවර වී ඇති බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා, මෙම දූෂිත ක්‍රියාවලිය හරහා නාස්ති වන මුදල් පාසල්, රෝහල් ඉදිකිරීමට හෝ දුප්පත් ජනතාවට සහන සැලසීමට යොදා ගත හැකිව තිබූ බවද පැවසීය. මේ සම්බන්ධයෙන් අවශ්‍ය වන්නේ විශේෂඥ කමිටු නොව විධිමත් ‘විමර්ශන විගණනයක්’ (Forensic Audit) බවත්, ජාතික සම්පතක් වන නොරොච්චෝල බලාගාරයට සිදුවන හානිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය වගකිව යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 1,029

Leave A Reply

Your email address will not be published. Required fields are marked *