වත්මන් රජය විසින් මෙරටට බාල ගල්අඟුරු ආනයනය කරමින් සිදුකරන මහා පරිමාණ දූෂණය හේතුවෙන් ජාතික බලශක්ති පද්ධතිය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නොරොච්චෝල බලාගාරයෙන් උත්පාදනය කළ යුතු මෙගාවොට් 810ක ධාරිතාව වෙනුවට දැනට ලැබෙන්නේ මෙගාවොට් 680ක් පමණක් බව පෙන්වා දෙන ඒ මහතා, ඉතිරි මෙගාවොට් 130ක හිඟයට සෘජුවම බලපා ඇත්තේ මෙම ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය බව විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේය.මෙම අර්බුදය හුදෙක් තාක්ෂණික දෝෂයක් නොව, පෞද්ගලික ඉන්ධන බලාගාර මාෆියාව තවදුරටත් පෝෂණය කිරීම සඳහා සැලසුම් සහගතව සිදුකරන්නක් බව විපක්ෂ නායකවරයා චෝදනා කරයි. ගල්අඟුරු බලාගාරයේ ජනන ධාරිතාව අඩුවීම නිසා ඇතිවන විදුලි හිඟය පියවා ගැනීමට අධික මිලක් ගෙවා ඉන්ධන බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට රජයට සිදුව ඇත. මෙම අමතර පිරිවැය සහ දූෂිත ගනුදෙනුවල පාඩුව අවසානයේ පටවනු ලබන්නේ පීඩාවට පත්ව සිටින සාමාන්‍ය විදුලි පාරිභෝගිකයාගේ කරපිටටය.බාල ගල්අඟුරු ආනයනය හරහා රජය හිතාමතාම ‘හදිසි මිලදී ගැනීම්’ සඳහා මග සකසන බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අනාවරණය කළේය. මීට පෙරද අදාළ බාල ගල්අඟුරු තොග සැපයූ ආයතනයටම නැවතත් ටෙන්ඩර් ලබා දීමට කටයුතු කිරීම තුළ බරපතළ වංචාවක් පවතින බව ඔහු පෙන්වා දෙයි. මේ හරහා රජය සිදුකරන්නේ ජනවරමට පිටුපාමින් තෝරාගත් ව්‍යාපාරික කල්ලියකගේ ලාභය වෙනුවෙන් සමස්ත රටම අනතුරේ හෙළීමකි.බලශක්ති සුරක්ෂිතභාවය වෙනුවට අද රට තුළ නිර්මාණය වී ඇත්තේ ‘බලශක්ති අනාරක්ෂිතභාවයක්’ බව පවසන විපක්ෂ නායකවරයා, මෙම බාල ඉන්ධන භාවිතය නිසා බලාගාරයේ වටිනා උපකරණවලට හානි සිදුවන බවද ප්‍රකාශ කළේය. එමෙන්ම, මෙමගින් පරිසරයට මුදාහැරෙන අළු ප්‍රතිශතය ඉහළ යාම හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට මෙන්ම සොබාදහමටද එල්ල වන්නේ මාරාන්තික බලපෑමකි. රජයේ බලධාරීන් බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවල යෙදෙමින් සත්‍යය වසන් කිරීමට උත්සාහ කළද, පවතින අඩු විදුලි උත්පාදනය හරහා සැබෑ තත්ත්වය හෙළි වී හමාරය.ලෝක දේශපාලනික තත්ත්වයන් සහ මැදපෙරදිග යුද ගැටුම් හමුවේ බලශක්ති පිරිවැය ඉහළ යද්දී, රජය මෙවැනි දූෂිත ගනුදෙනුවල නිරත වීම ජාතික අපරාධයක් බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි. “ක්‍රමයේ වෙනසක්” පොරොන්දු වී බලයට පැමිණි පිරිස් පැරණි දූෂිත ක්‍රමවේදයන්ම වඩාත් නින්දිත ලෙස ක්‍රියාත්මක කරන බවත්, මෙවැනි විනාශකාරී තීරණ හරහා රට තවදුරටත් ප්‍රපාතයට ඇද නොදමන ලෙසත් ඒ මහතා රජයෙන් ඉල්ලා සිටියේය.රජය වහාම මෙම බාල ගල්අඟුරු ගනුදෙනුව අත්හිටුවා ජනතාවට සහන සැලසීමට කටයුතු කළ යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි. දූෂණයේ බර ජනතාව මත පටවමින් සිදුකරන මෙම මහා වංචාවට එරෙහිව හඬ නැගීමට තමන් පසුබට නොවන බවත්, බලශක්ති ක්ෂේත්‍රයේ විනිවිදභාවය තහවුරු කරන ලෙසත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


























