ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් සොයාගත්, මෙතෙක් ඉන්දියාවෙන් බැහැරට වැඩම කරවා නොමැති බුදුරජාණන් වහන්සේගේ අති පූජනීය ශාරීරික ධාතූන් වහන්සේලා මෙරට ජනතාවගේ වන්දනාමානය සඳහා ශ්‍රී ලංකාවට වැඩමවීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය රජයේ පූර්ණ සහාය ඇතිව මෙම ධාතු ප්‍රදර්ශනය සංවිධානය කෙරේ. ඒ අනුව, පෙබරවාරි 04 වනදා සිට 11 වනදා දක්වා කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී දින හතක් පුරා මහජනතාවට ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට අවස්ථාව සැලසෙන අතර, මෙම ප්‍රදර්ශනය පැය 24 පුරාම විවෘතව තැබීමට තීරණය කර ඇත.මෙම ආගමික මහෝත්සවයට අදාළ මූලික කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පසුගිය ජනවාරි 31 වනදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී වන්දනාකරුවන් වෙනුවෙන් ප්‍රවාහන, සෞඛ්‍ය සහ ආරක්ෂක පහසුකම් සැලසීම පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු විය. විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්, ආබාධිත පුද්ගලයින් සහ විදේශීය සංචාරකයින් සඳහා ප්‍රමුඛතා පෝලිම් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටත්, දුම්රිය, ලංගම සහ පෞද්ගලික බස් රථ හරහා විශේෂ ප්‍රවාහන සේවාවක් ලබා දීමටත් පියවර ගෙන ඇත. එසේම පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන පාලන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දන්සැල් සහ ප්‍රබෝධක පාන ලබාදීමට ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සූදානමින් සිටින අතර, කාලගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජනතාවට අපහසුවකින් තොරව වන්දනා කිරීමට අවශ්‍ය සියලු යටිතල පහසුකම් මේ වන විටත් සපුරා ඇත. මෙම විශේෂ සම්බන්ධීකරණ රැස්වීම සඳහා ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද, අමාත්‍ය හර්ෂණ නානායක්කාර, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.


























