මධ්‍යම පළාතේ නායයෑමේ අවදානමට ලක්ව ඇති පාසල් කිහිපයක් සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගත යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) අවධාරණය කරයි. එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණයත් සමඟ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් නායයෑමේ තර්ජනයට සෘජුවම නිරාවරණය වී ඇති බව මෑතකදී කළ අවදානම් තක්සේරු පරීක්ෂණවලදී හඳුනාගත් බවයි. ඇතැම් පාසල් භූමි ඉංජිනේරු තාක්ෂණය භාවිත කර ස්ථාවර කළ හැකි වුවද, එවැනි පියවර ගත නොහැකි සහ විකල්ප තීරණ අවශ්‍ය වන පාසල් පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.ගුණාත්මක තක්සේරු වාර්තාවලට අනුව හසලක ප්‍රදේශය හැර මහනුවර දිස්ත්‍රික්කයේ වෙනත් කිසිදු පාසලක් අවදානම් සහිත ලෙස හඳුනාගෙන නොමැත. මධ්‍යම පළාතේ පාසල් 160ක් ආවරණය වන පරිදි සකස් කළ විස්තීර්ණ වාර්තාව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වෙත මේ වන විටත් භාර දී ඇති අතර, එහි අඩංගු නිර්දේශ මත පදනම්ව අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළ යුතු බව ආචාර්ය කරුණාවර්ධන මහතා අවධාරණය කළේය. හඳුනාගත් අධි-අවදානම් පාසල් පිළිබඳව තවදුරටත් අධ්‍යයන සිදු කෙරෙන අතර නවතම සොයාගැනීම් සහ තීරණ අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.


























