හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා වන “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (අහෝසි කිරීමේ) පනත් කෙටුම්පත” ලබන පෙබරවාරි 17 වනදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇති බව සභානායක බිමල් රත්නායක මහතා පවසයි. මෙම පනත් කෙටුම්පත එදිනම සම්මත කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. යුක්ති අමාත්‍ය ආචාර්ය හර්ෂණ නානායක්කාර මහතා විසින් ජනවාරි 7 වනදා ඉදිරිපත් කරන ලද මෙම පනත මගින් හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් වරප්‍රසාදය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අපේක්ෂිතය.මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත්, 121(1) වගන්තිය ප්‍රකාරව සරල බහුතරයකින් එය සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ ප්‍රකාශ කළේය. පනත් කෙටුම්පත මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත්, ඒ සඳහා විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවත් පවසමින් හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.


























