කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණය අනුව, ලබන පෙබරවාරි 17 වනදා සිට 20 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. මෙහි විශේෂම සිදුවීම වන්නේ පෙබරවාරි 17 වන අඟහරුවාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමයි. එදිනම මැතිවරණ නීති සමාලෝචනය සඳහා වන විශේෂ කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවද අනුමත කර ගැනීමට නියමිතව ඇත.පෙබරවාරි 18 වන බදාදා දින විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත සහ මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ වන නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිත අතර, පෙබරවාරි 19 වන බ්‍රහස්පතින්දා අධිකරණ සංවිධාන (සංශෝධන) සහ විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ (සංශෝධන) පනත් කෙටුම්පත් විවාදයට ගැනීමට නියමිතය. සතියේ අවසන් දිනය වන පෙබරවාරි 20 වන සිකුරාදා දවස පුරා “බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ගැටලු” සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට තීරණය කර ඇත. සෑම දිනකම පෙබරවාරි පෙරවරු 9.30 සිට 11.30 දක්වා කාලය වාචික ප්‍රශ්න සහ ස්ථාවර නියෝග යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.


























