මහපොළ ශිෂ්‍යත්ව දීමනා ගෙවීම අඩාල වී ඇති බවට ඇතැම් පුවත්පත් මගින් පළ කර ඇති වාර්තා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ. මළල්ගොඩ මහතා අවධාරණය කරයි. අදාළ මාධ්‍ය වාර්තා මගින් ශිෂ්‍යයන් සහ භාරකාර මණ්ඩලය අපහසුතාවයට පත් කිරීමට උත්සාහ දරා ඇති බව පෙන්වා දෙන ඒ මහතා, පෞද්ගලික අභිලාෂයන් මත මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කිරීම කණගාටුදායක බව පවසයි. රජය සහ භාරකාර අරමුදල එක්ව කිසිදු මූල්‍ය අර්බුදයකින් තොරව නියමිත පරිදි ශිෂ්‍යාධාර ලබා දීමට මේ වන විටත් කටයුතු කරමින් සිටී.ශිෂ්‍ය සුබසාධනය ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් 5,000ක්ව පැවති මහපොළ දීමනාව මේ වන විට රුපියල් 10,000 දක්වා දෙගුණයකින් වැඩි කර ඇති අතර එම මුදල් නිසි කලට සිසුන් වෙත ලබා දීමට පියවර ගෙන ඇත. අරමුදල සතුව මුදල් නොමැති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන සභාපතිවරයා, රජයේ පූර්ණ දායකත්වය ඇතිව සියලු ගෙවීම් විනිවිදභාවයකින් යුතුව සිදු කරන බව සහතික කළේය. පසුගිය රජය සමයේ ටෙන්ඩර් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලීන්හි සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා හේතුවෙන් මතුවූ ගැටලු මගහරවා ගනිමින් වත්මන් පාලන අධිකාරිය කටයුතු කරන බවද මෙහිදී අනාවරණය විය.මෙම අසත්‍ය පුවත් සම්බන්ධයෙන් සිසුන් හෝ දෙමාපියන් අනියත බියක් ඇති කරගත යුතු නොවන අතර, විශ්වවිද්‍යාල ප්‍රජාවට ලබා දෙන ප්රතිලාභ කිසිදු බාධාවකින් තොරව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව භාරකාර මණ්ඩලය අවධාරණය කරයි. දේශපාලනික හෝ වෙනත් පටු පරමාර්ථ වෙනුවෙන් මෙවැනි සංවේදී විෂය කරුණු විකෘති කිරීම ජාතික අපරාධයක් බව පෙන්වා දෙන ඒ මහතා, වගකීම් සහගත මාධ්‍ය භාවිතයක අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කළේය.
























