මානව සංස්කෘතිය සුරැකීමට කෘත්‍රිම බුද්ධිය යොදාගත යුතුයි: නවදිල්ලියේදී ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන “AI IMPACT SUMMIT 2026” රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ කෘත්‍රිම බුද්ධිය (AI) මානව වර්ගයාගේ සංස්කෘතික වටිනාකම් සහ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා භාවිත කළ යුතු බවයි. කෘත්‍රිම බුද්ධිය සීමිත භාෂා සහ දෘෂ්ටිකෝණ කිහිපයකට පමණක් සීමා වුවහොත් ලෝකයේ පවතින අනන්‍ය සංස්කෘතික විවිධත්වය ගිලිහී යාමේ අවදානමක් පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවලට ඔවුන්ගේ භාෂාව සහ සංස්කෘතිය ගෞරවයේ හා විශ්වාසයේ පදනම වන බැවින් මෙම තාක්ෂණික ක්ෂේත්‍රය තුළ සියලු දෙනා ඇතුළත් කරගන්නා වැඩපිළිවෙළක අවශ්‍යතාවය පෙන්වා දුන්නේය. කිසිවෙකුත් අත්නොහරින සදාචාරාත්මක කෘත්‍රිම බුද්ධියක් ප්‍රවර්ධනය කිරීම සඳහා අනෙකුත් ජාතීන් සමඟ පොදු වටිනාකම් බෙදා ගැනීමටත්, එකිනෙකාගෙන් ඉගෙන ගනිමින් ඉදිරියට යාමටත් ශ්‍රී ලංකාව සූදානම් බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.​ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව මෙම සමුළුවට සහභාගී වූ ජනාධිපතිවරයා, එහි ප්‍රධාන සැසියට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම්වල නායකයින් සමඟ එක් විය. සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය මෝදි මහතා සඳහන් කළේ ලොව විශාලතම තරුණ පිරිස වසන ඉන්දියාව නූතන තාක්ෂණයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශීඝ්‍රයෙන් ඉදිරියට එන බවයි. හුදෙකලාව කිසිදු රටකට කෘත්‍රිම බුද්ධියෙන් සන්නද්ධ අනාගතයක් ගොඩනැගිය නොහැකි බවත්, ඒ සඳහා සාමූහික සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ගත යුතු මොහොත එළඹ ඇති බවත් ජනාධිපති දිසානායක මහතා සිය කතාව අවසානයේ වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 633

Leave A Reply

Your email address will not be published. Required fields are marked *