තෙල්දෙණිය, පදියතලාව, වැලිපැන්න සහ බණ්ඩාරගම යන පොලිස් වසම්වල ඊයේ (පෙබරවාරි 19) සිදුවූ රිය අනතුරු හතරකින් ලන්දේසි ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. මහනුවර-පදියතලාව මාර්ගයේ මොරගහමුල ප්රදේශයේදී බස් රථයකට ඉස්සර කිරීමට ගිය යතුරුපැදියක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙන් 46 හැවිරිදි ලන්දේසි ජාතික යතුරුපැදිකරු තෙල්දෙණිය රෝහලේදී මියගොස් ඇත. මේ අතර පදියතලාව, කෙහෙල්උල්ල ප්රදේශයේදී රියදුරුට පාලනය කරගත නොහැකි වූ ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් 25 හැවිරිදි තරුණයෙකු මහියංගනය රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.අනෙක් මාරක අනතුරු වාර්තා වන්නේ වැලිපැන්න සහ බණ්ඩාරගම ප්රදේශවලිනි. වැලිපැන්න පොලිස් වසමේ වරාය පරිශ්රයක් තුළ ධාවනය වූ බර වාහනයක යතුරුපැදියක් ගැටීමෙන් එහි පසුපස ගමන් කළ 40 හැවිරිදි රිදීගම පදිංචිකරුවෙකු කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇත. එසේම, බණ්ඩාරගම-පානදුර මාර්ගයේ බණ්ඩාරගම නගරයේදී හොරණ දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් පාර මාරු වෙමින් සිටි 65 හැවිරිදි පුද්ගලයෙකු පානදුර රෝහලේදී මියගොස් තිබේ. මෙම අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

























