මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළඳපොළේ ඇලුමිනියම් මිල වසර හතරක උපරිමයට

​මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඇලුමිනියම් මිල වසර හතරකට පසු වාර්තාගත ඉහළම අගය දක්වා ඉහළ ගොස් තිබේ. ප්‍රධාන පෙළේ ඇලුමිනියම් නිෂ්පාදන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර හමුවේ සැපයුම් ජාලය අඩාල වීම මීට සෘජුවම බලපා ඇත. ඒ අනුව ලන්ඩන් ලෝහ හුවමාරුවේ (London Metal Exchange) ඇලුමිනියම් මිල ඊයේ (30) දිනයේදී 3% ඉක්මවූ වර්ධනයක් පෙන්වමින් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 3,401ක් ලෙස සටහන් විය.​මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එමිරේට්ස් ග්ලෝබල් ඇලුමිනියම් (EGA) සහ ඇලුමිනියම් බහරේන් යන දැවැන්ත සමාගම්වල නිෂ්පාදන මධ්‍යස්ථාන වෙත එල්ල වූ ප්‍රහාරයන්ය. අබුඩාබි හි පිහිටි තම මධ්‍යස්ථානයට දැඩි හානි සිදුව ඇති බව එමිරේට්ස් ග්ලෝබල් සමාගම තහවුරු කර ඇති අතර, බහරේන් සමාගම ද තමන්ට සිදුව ඇති අලාභහානි මේ වන විට තක්සේරු කරමින් සිටියි. මෙම තත්ත්වය ගෝලීය ඇලුමිනියම් සැපයුමට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.​විද්‍යුත් උපකරණ, වාහන නිෂ්පාදනය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ඇලුමිනියම් අත්‍යවශ්‍ය ලෝහයක් බැවින්, මෙම මිල ඉහළ යාම ඉදිරියේදී අදාළ නිෂ්පාදනවල පිරිවැය කෙරෙහි ද බලපානු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති. විශේෂයෙන්ම ගෝලීය ඉදිකිරීම් සහ මෝටර් රථ කර්මාන්තයට මෙහි සෘජු බලපෑම එල්ල වනු ඇති අතර, මැදපෙරදිග අස්ථාවරත්වය දිගටම පැවතුණහොත් ඇලුමිනියම් ආශ්‍රිත භාණ්ඩවල මිල තවදුරටත් ඉහළ යා හැකි බව ඔවුන් වැඩිදුරටත් පවසති.

What's your reaction?

Related Posts

1 of 696

Leave A Reply

Your email address will not be published. Required fields are marked *