ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේ කටයුතුවලින් වළකින ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සමස්ත ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි. ජාත්‍යන්තර මුහුදු සීමා තුළ පවතින දැඩි අවදානම් සහගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඇමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන යුද නෞකාවක් විනාශ වීම සහ තවත් ඉරාන නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ රැඳී සිටීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.පසුගියදා අමෙරිකානු සබ්මැරීනයක් මගින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් වූ මුහුදේදී ඉරාන යුද නෞකාවක් ගිල්වා දමා ඇති අතර, මේ වන විට එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වේ. පර්සියානු ගල්ෆ් කලාපය ආශ්‍රිතව පවතින මෙම යුදමය වාතාවරණය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නිරත මෙරට බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ධීවර දෙපාර්තමේන්තුව විසින් විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර ඇත.ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසන්නේ, ධීවරයින් සැමවිටම තමන් සාම්ප්‍රදායිකව මසුන් අල්ලන ප්‍රදේශවල පමණක් රැඳී සිටිය යුතු බවයි. යුද කටයුතුවලට සම්බන්ධ යැයි සැක කෙරෙන කිසිදු නෞකාවකට හෝ වෙනත් විදේශීය යාත්‍රාවලට සමීප නොවන ලෙසත්, වෙනත් යාත්‍රා සමඟ භාණ්ඩ හුවමාරු කර ගැනීමෙන් හෝ ගනුදෙනු කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙසත් ඔහු ධීවරයින්ට දැනුම් දී තිබේ.තවද, ධීවර කටයුතු සඳහා පිටත්වීමේදී සහ නැවත පැමිණීමේදී සාමාන්‍යයෙන් භාවිත කරන නිත්‍ය මුහුදු මාර්ගවල පමණක් ගමන් කරන ලෙසටද උපදෙස් දී ඇත. පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ මෙතෙක් කිසිදු ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවකට බලපෑමක් සිදුව නොමැති බව ධීවර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.


























