යාපනය පරදා කොළඹ හින්දු විද්‍යාලයට විශිෂ්ට ජයක්!

කොළඹ හින්දු විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලය අතර මෙවර පැවැත්වුණු 15 වැනි “හින්දු හටන” (Battle of the Hindus) මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක අතිවිශිෂ්ට ජයක් වාර්තා කිරීමට කොළඹ හින්දු විද්‍යාලය සමත් විය. පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී දින දෙකක් පුරා ඉතා උණුසුම් මුහුණුවරකින් පැවැති මෙම සාම්ප්‍රදායික තරගය, දෙපිලේම දක්ෂතා මධ්‍යයේ ඊයේ පස්වරුවේ නිමාවට පත් විය.​කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් යාපනය හින්දු විද්‍යාලයට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කරගත හැකි වූයේ ලකුණු 102ක් පමණි. එහිදී රවින්ද්‍රන් අතිදිසන් ලකුණු 31ක් ලබාගනිමින් පිත්තෙන් දියුණු දැක්වූ අතර, කොළඹ විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දියුණු දැක්වූ විශ්වනාතන් යුවරාජ් ලකුණු 33කට කඩුලු 5ක් බිඳ හෙළමින් යාපනය ඉනිම අඩපණ කළේය. පිළිතුරු ලෙස කොළඹ හින්දු විද්‍යාලය සිය මුල් ඉනිමට ලකුණු 119ක් එක් කළ අතර, සුරේෂ් සර්වි එහිදී ලකුණු 32ක් රැස් කළේය. යාපනය පිල වෙනුවෙන් සුතාර්සන් සුභාමන් ලකුණු 43කට කඩුලු 6ක් දවාගනිමින් පන්දුවෙන් ප්‍රබල සටනක නිරත විය.​තරගයේ තීරණාත්මක දෙවන ඉනිම ක්‍රීඩා කළ යාපනය හින්දු විද්‍යාලයට කොළඹ පන්දු යවන්නන් හමුවේ ලකුණු 98කට සියලු දෙනා දැවී යාමට සිදු විය. සුතාර්සන් සුභාමන් ලකුණු 34ක් ලබාගත් නමුත්, විශ්වනාතන් යුවරාජ් සහ රාමනාතන් ඩෙෂ්කර් කඩුලු 4 බැගින් දවාගනිමින් කොළඹ පිලට ජයග්‍රාහී මාවත විවර කර දුන්හ. ලකුණු 82ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොළඹ හින්දු ක්‍රීඩකයෝ, කඩුලු 5ක් පමණක් වැය කරමින් එම ඉලක්කය සපුරාගත්තේ තිවාකරන් යාදෙව් (ලකුණු 34) ගේ වගකීම් සහගත පිතිහරඹය හේතුවෙනි.​තරගයෙන් අනතුරුව පැවැති උත්කර්ෂවත් ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ජයග්‍රාහී කොළඹ හින්දු විද්‍යාලයීය කණ්ඩායම වෙත ශූරතා කුසලානය පිරිනමන ලදී. ක්‍රීඩාලෝලීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම තරගය, උතුරු-දකුණු සහෝදරත්වය සහ ක්‍රීඩාශීලීත්වය මැනවින් විහිදා පෑ අවස්ථාවක් ලෙස සනිටුහන් විය.

What's your reaction?

Related Posts

1 of 1,051

Leave A Reply

Your email address will not be published. Required fields are marked *