රජයේ ආර්ථික පිළිවෙත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දැඩි විවේචනයට

ගෝලීය අධිරාජ්‍යවාදී යුද්ධයක බලපෑම හමුවේ මෙරට ආර්ථිකය දැඩි අවදානමකට ලක්ව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. නුගේගොඩදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා අවධාරණය කළේ, පවතින ජාත්‍යන්තර දේශපාලන උණුසුම පිළිබඳ නිසි තක්සේරුවකින් තොරව රජය කටයුතු කිරීම නිසා ඉදිරියේදී බරපතළ බලශක්ති සහ ආහාර හිඟයක් ඇතිවීමේ ඉඩකඩ පවතින බවයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඉදිරිපත් කරන කෙටි කාලීන සැලසුම් මඟින් රටේ සැබෑ අර්බුදයට විසඳුම් නොලැබෙන බව ඔහු පෙන්වා දුන්නේය.​මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට තමන් සතු ඩොලර් භාවිතා කර ඉන්ධන ආනයනය කිරීමට අවසර දීමට රජය ගෙන ඇති තීරණය මෙහිදී දැඩි දෝෂදර්ශනයට ලක් විය. මෙමඟින් මහ බැංකුවේ අධීක්ෂණයෙන් බැහැර වූ ‘කළු ආර්ථිකයක්’ නිර්මාණය වන බවත්, විදෙස්ගත ශ්‍රමිකයන් සහ මෙරට කම්කරු ජනතාව උපයන ඩොලර් වංචනික ලෙස රඳවාගෙන සිටින ව්‍යාපාරිකයන්ට තවත් ලාභ ලැබීමට රජය මාවත සකසා දෙන බවත් නාගමුව මහතා පැවසීය. මේ හරහා රජයේ පාලනයෙන් බැහැර වූ පුද්ගලික ඒකාධිකාරයක් බලශක්ති ක්ෂේත්‍රය තුළ ගොඩනැගීමේ අවදානමක් පවතින බවද ඔහු සඳහන් කළේය.​රට තුළ පවතින ඉන්ධන පිරිපහදු සහ ගබඩා පද්ධති අලුත්වැඩියා කිරීමට රජය වසර එකහමාරක පමණ කාලයක සිට අපොහොසත් වී ඇති බවටද චෝදනා එල්ල විය. මැදපෙරදිග යුදමය තත්ත්වයත් සමඟ ඇතිවිය හැකි සැපයුම් බාධා පිළිබඳව පාලකයින්ට අවබෝධයක් නොමැති වීම නිසා අද වන විට ජනතාව පෝලිම්වල රක්සා වීමට සිදුව ඇත. මෙම අර්බුදය හමුවේ පාසල් වසා දමා ඔන්ලයින් අධ්‍යාපනයට යොමු වීමට රජය සූදානම් වන්නේ නම් එය දරුවන්ගේ පෞරුෂයට සහ අනාගතයට කරන බරපතළ හානියක් බව හෙතෙම පෙන්වා දුන්නේය.​ඉදිරියේදී ඇතිවිය හැකි නියං තත්ත්වය හමුවේ රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට රජය වහාම මැදිහත් විය යුතු බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කරයි. අත්‍යවශ්‍ය ආහාර සංචිත රැස් නොකිරීම නිසා නැවත වරක් සහල් මාෆියාවට ජනතාව බිලිවීමේ තත්ත්වයක් උදා වී ඇති බවත්, මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ලාභය වෙනුවෙන් පෙනී නොසිට ජනතාව වෙනුවෙන් ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් එහිදී ප්‍රකාශ විය.​අවසාන වශයෙන්, ලෝක බලවතුන් අතර පවතින ගැටුම් හමුවේ ශ්‍රී ලංකාව දැඩි නොබැඳි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව දුමින්ද නාගමුව මහතා පවසා සිටියේය. පවතින අර්බුදයේ බර ජනතාව මත පටවමින් ව්‍යාපාරික පැලැන්තිය සුරැකීමට රජය කටයුතු කරන්නේ නම්, ඊට එරෙහිව පුළුල් ජනතා බලවේගයක් ගොඩනැගීමට තම පක්ෂය සූදානම් බවද ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය.

What's your reaction?

Related Posts

1 of 1,056

Leave A Reply

Your email address will not be published. Required fields are marked *