සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ පවතින බවට සහතික වුවද, රජයේ රෝහල් තුළ අත්‍යවශ්‍ය ඖෂධ හිඟය තවදුරටත් පවතින බව වෛද්‍ය සංගම් පෙන්වා දෙයි. විශේෂයෙන්ම ප්‍රතිජීවක ඖෂධ, වේදනා නාශක සහ නිදන්ගත රෝග සඳහා වන ඖෂධ වර්ග රෝහල්වල නොමැති වීම හෝ ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් මූලික ජීවිතාරක්ෂක ප්‍රතිකාර ලබාදීමට පවා රෝහල් බලධාරීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇත. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසන්නේ රජයේ රෝහල්වල ඖෂධ පවතින බව පැවසුවද එය අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි. ඖෂධ හිඟය හදිසියේ ඇති වී දින ගණනාවක් පැවතිය හැකි අතර, එහි අවසාන ප්‍රතිඵලය විඳීමට රෝගීන්ට සිදුවන බව ඔහු අවධාරණය කරයි.ඖෂධවල පවතින හිඟයට අමතරව, අක්ෂි සැත්කම් සඳහා භාවිත කරන ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳව ද බරපතල ගැටලු මතු වී තිබේ. සැත්කම්වලට පෙර සහ පසුව භාවිත කරන ඇතැම් අලුතින් මිලදී ගත් ඖෂධවල, නිර්දේශිත සීමාව ඉක්මවා ඖෂධීය නොවන ‘නිදහස් අංශු’ (free particles) පවතින බවත්, එමගින් එම ඖෂධ සැත්කම් සඳහා නුසුදුසු වන බවත් වෛද්‍ය සංජීව මහතා පෙන්වා දෙයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් ගනු ලබන අත්තනෝමතික තීරණ හේතුවෙන් රජයේ රෝහල් පද්ධතියේ පවතින අක්ෂි ඖෂධවල ප්‍රමිතිය බිඳ වැටිය හැකි බවට ඔහු අනතුරු අඟවයි. විශේෂයෙන්ම ඖෂධ මිලදී ගැනීමේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ නොසලකා හැරීම රෝගී ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලුවක් බව ද හෙතෙම පවසයි.මෙම ගැටලු සම්බන්ධයෙන් අක්ෂි වෛද්‍යවරුන් විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා දැනුවත් කළ ද, මෙතෙක් ඊට නිසි විසඳුම් ලැබී නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ පවතින ඖෂධ හිඟයෙන් වැඩි ප්‍රමාණයක් මේ වන විට විසඳා ඇති බවත්, හදිසි දේශීය ඖෂධ මිලදී ගැනීම් සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන පවතින බවත්ය.


























