වෛද්‍යවරුන් සඳහා විශේෂ සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම්වලට රජයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්, ලබන සඳුදා (මාර්තු 02) සිට රෝහල් සායනික කටයුතුවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇත. මේ වන විට ක්‍රියාත්මක වන සායන 50 සහ ජංගම සායන පද්ධති හුදෙක් දේශපාලන අරමුණු මත පදනම් වූ ව්‍යාපෘති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් අත්තනායක මහතා පවසයි.රටේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට පවා දැඩි කාර්ය මණ්ඩල හිඟයක් පවතින පසුබිමක මෙවැනි ව්‍යාපෘති සඳහා සහාය නොදැක්වීමට වෛද්‍යවරුන් තීරණය කර ඇති බවත්, වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා හෝ බලධාරීන් සාධාරණ මැදිහත්වීමක් සිදු නොකරන්නේ නම් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියේදී පූර්ණ වැඩවර්ජනයක් දක්වා වර්ධනය විය හැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.


























