ශ්‍රී ලංකාව නව පරිවර්තනීය යුගයක් කරා මෙහෙයවීමේදී මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ගේ අනුශාසනා සහ කැපවීම රජයට සුවිශාල ශක්තියක් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. රජය අපේක්ෂා කරන සමාජීය වෙනස සාර්ථක කර ගැනීමට නම් ජනතාව සමඟ සමීපව කටයුතු කරන ආගමික නායකයින්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය සාධකයක් බව ඇය අවධාරණය කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ පසුගිය මාර්තු 01 වැනිදා බුත්තලදී පැවැති විශේෂ පුණ්‍යෝත්සවයකට සහභාගී වෙමිනි.ඌව, වෙල්ලස්ස සහ නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍යපාද ගංගොඩගම විමලරත්න නාහිමියන් වෙත සන්නස් පත්‍ර පිළිගැන්වීමේ නිල උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් බුත්තල සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙහිදී අභිනව නායක මාහිමිපාණන් වහන්සේ වෙත සන්නස් පත්‍රය පිළිගැන්වීම අග්‍රාමාත්‍යවරිය අතින් සිදු වූ අතර, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා විසින් විජිනිපත පූජා කරන ලදී.අභිනව නායක හිමියන්ගේ ශාසනික සහ සමාජීය මෙහෙවර අගය කළ අග්‍රාමාත්‍යවරිය, උන්වහන්සේගේ වසර 60ක පැවිදි ජීවිතය තුළ ධර්ම ප්‍රචාරයට අමතරව වෛද්‍ය ශාස්ත්‍රය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ සේවය විශේෂයෙන් සිහිපත් කළාය. විදුහල්පතිවරයෙකු සහ පරිවේණාධිපතිවරයෙකු ලෙස කටයුතු කරමින් දරු පරපුරේ නැණ පහන් දැල්වීමටත්, දහම් පාසල් ආරම්භ කරමින් ගුණාත්මක සමාජයක් බිහි කිරීමටත් උන්වහන්සේ දැක්වූ දායකත්වය මෙහිදී ඇගයීමට ලක් විය.දුෂ්කර ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මූල්‍ය ආධාර ලබාදීමට නායක හිමියන් ගත් උත්සාහය පරමාදර්ශී බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. හයවන ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම සිසුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, අසරණ ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් කැපවීමටත් උන්වහන්සේ කටයුතු කර ඇත. එවැනි පුළුල් සමාජීය මෙහෙවරක නිරත වන ආගමික නායකයින්ගේ අත්දැකීම් නව රජයේ ඉදිරි ගමනට බෙහෙවින් වැදගත් වන බව ඇය සඳහන් කළාය.පසුගිය වසරේ ඇති වූ ‘දිත්වා’ සුළි කුණාටුවෙන් ඌව පළාතට, විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයට සිදුවූ දැඩි බලපෑම පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධානය යොමු කළාය. එම ව්‍යසනයෙන් බැටකෑ ජනතාව මේ වන විට නැවත නැගී සිටීමට උත්සාහ කරන බවත්, ඔවුන්ගේ මානසික සහ සමාජීය ශක්තිය වර්ධනය කිරීමට අභිනව සංඝනායක හිමියන්ගේ මඟපෙන්වීම මහත් පිටුවහලක් වනු ඇති බවත් ඇය විශ්වාසය පළ කළාය.මහා සංඝරත්නය, අමාත්‍යවරුන්, මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය, දේශපාලන සහ ආගමික නායකත්වය අතර පවතින සබැඳියාව තහවුරු කළ අවස්ථාවක් විය. ඌව අමරපුර මහා නිකායේ අනුනායක පූජ්‍ය වතුපිටියේ ඥාණානන්ද හිමියන් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


























