මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු අමතක කර, අමූලික බොරු සහ වංචා සහගත ක්‍රියාවලින් වත්මන් රජය ජනතාව දැඩි පීඩනයකට ලක් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හමුවී ඔවුන්ගේ ගැටලු විමසා බැලූ අවස්ථාවේදී ඒ මහතා අවධාරණය කළේ, ජීවන වියදම ඉහළ යාම, ඉන්ධන සහ විදුලි බිල වැඩිකිරීම හේතුවෙන් පොදු ජනතාවට අද ජීවත්වීමේ අයිතිය පවා අහිමි වී ඇති බවයි. බොරු ප්‍රචාර හරහා ජනතාව රවටන පාලකයන්ට දැන් ගම්වැදුණු විට ජනතා විරෝධයට මුහුණ දීමට සිදුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.රටේ කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍රයන් මුළුමනින්ම කඩාවැටී ඇති පසුබිමක, රජයේ අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් පොහොර හිඟය උග්‍ර වී ඇති බව විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේය. පොහොර හිඟයක් නොමැති බව රජය පැවසුවද, යථාර්ථය වන්නේ කළුකඩ ජාවාරම්කරුවන් සහ රජය වටා සිටින ව්‍යාපාරිකයන් ඉන් අයුතු ලාභ ලැබීමයි. සාමාන්‍ය ගොවියා අසරණ වී සිටියදී, බාල ගල්අඟුරු ජාවාරම් සහ විවිධ දූෂිත ගනුදෙනු හරහා රජයේ හිතවතුන් පමණක් පෝෂණය වන බවට ඔහු චෝදනා කළේය.විදුලි බිල ඉහළ දැමීම පිටුපස ඇති ගල්අඟුරු වංචාව සහ බලශක්ති අර්බුදය පිළිබඳවද සජිත් ප්‍රේමදාස මහතා සිය දැඩි විරෝධය පළ කළේය. රජයට අවම වශයෙන් ජල කළමනාකරණය පවා නිසි ලෙස කරගත නොහැකි වී ඇති බවත්, වාරිමාර්ග හා පානීය ජල අවශ්‍යතා සපුරාලීමට නොහැකි වීමෙන් ජන ජීවිතය අඩාල වී ඇති බවත් ඔහු පැවසීය. විපක්ෂය පෙන්වා දෙන සාධනීය යෝජනා හෝ ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු නොකර, ආණ්ඩුව තවමත් මඩ ප්‍රහාර සහ සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ප්‍රතිරූප මවාගැනීමට උත්සාහ කරන බවද ඔහු සඳහන් කළේය.අවසාන වශයෙන්, ලක්ෂ 220ක් වූ ජනතාව අනාථ නොකර වහාම සහන පැකේජයක් ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය. වරායේ ගොඩබෑමේ මිලට ඉන්ධන ලබාදෙන ලෙසත්, ඉන්ධන මත පනවා ඇති අධික බදු ඉවත් කරන ලෙසත් ඔහු බලකර සිටියේය. අඳුරේ ගිලී ඇති රටට යළි ආලෝකය ලබාදීමට නම්, දූෂණය නතර කර ජනතාවට සහන සැලසීම වහාම ආරම්භ කළ යුතු බවත්, හඬක් නැති ජනතාව වෙනුවෙන් විපක්ෂය නිරන්තරයෙන් පෙනී සිටින බවත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





















